ඩෙංගු රෝගය මැඩපැවැත්වීම සඳහා සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බවත්, සියලු දෙනා රටක් ලෙස එකවර මැදිහත්වෙමින් ඩෙංගු මර්දනයට සහය ලබා දෙන්නැයි කැබිනට් ප්‍රකාශක , සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
එළඹෙන 18 වැනිදා අධ්‍යාපන ආයතන, 19 වැනිදා රාජ්‍ය ආයතන සහ 20 වැනිදා පෞද්ගලික නිවාස හා පරිශ්‍ර පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක බවත් මේ සඳහා ජනතාවගේ දායකත්වය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ දක්වා සිදුකළ ඩෙංගු පරීක්ෂාවේදී පාසල් ආශ්‍රිතව ඩෙංගු කීටයින් බෝවන ස්ථාන වැඩි වශයෙන් වාර්තා වී ඇති බවත්, ආගමික ස්ථාන 28%ක් කර්මාන්ත ආශ්‍රිතව 26%ක් ආදී ලෙස ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන හඳුනාගෙන ඇති බවත් පැවසූ අමාත්‍යවරයා දිස්ත්‍රික්ක 14ක මෙම ප්‍රශ්නය බරපතළ ලෙස හඳුනාගෙන ඇතැයිද පැවසීය.
බස්නාහිර, දකුණ, වයඹ සහ සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර, මාතලේ, බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා බව ද ඔහු පැවසීය.
ඩෙංගු රෝගීන් සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වය රෝහල් පද්ධතියට කළමනාකරණය කළ හැකි වුවද, රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් එය සෞඛ්‍ය සේවාවට දැඩි පීඩනයක් එල්ල කළ හැකි බව ද ඔහු සඳහන් කළේය.
මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 42,232 දෙනෙකු වාර්තා වී ඇති බවත් ජුනි මාසය තුළ පමණක් රෝගීන් 8,390 දෙනෙකු හඳුනාගෙන ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය.
මෙම සතිය තුළ සියලු ජනතාව එක්ව තම නිවාස හා පරිශ්‍ර පිරිසිදු කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කළහොත් රෝගය ව්‍යාප්ත වීම පාලනය කරගත හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සඳහා රටක් ලෙස එක්ව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.


