වසර හතකට පසු අන්තර් විද්‍යාපීඨ ක්‍රීඩා උළෙල අගමැතිනියගේ සහභාගිත්වයෙන්

වසර හතකට පසු අන්තර් විද්‍යාපීඨ ක්‍රීඩා උළෙල අගමැතිනියගේ සහභාගිත්වයෙන්
  • SocialShare:

17 වන අන්තර් විද්‍යාපීඨ ක්‍රීඩා උළෙල ජුනි 18 දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් දියගම ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

එහි දී ශූරයන් හා අනුශුරයන් වෙත ජය සංකේත ප්‍රදානය කළ අග්‍රාමාත්‍යවරිය, සිය අදහස් මෙසේ ප්‍රකාශ කළා ය:

‘අවුරුදු හතකට පසුවයි මෙවර අපට මේ අවස්ථාව උදාකරගන්න ලැබුණේ. අපේ රටේ අනාගතය සූදානම් කරන්න ඉන්න ප්‍රධානම පිරිස ඔබයි. අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් එහෙමත් නැත්තම් විප්ලවයක් කරන්න සූදානම් වෙන කාලයක, ඒ කාර්යයේ ප්‍රධාන නියමුවන් වෙන්න ඉන්න ඔබට මේ විදිහට එකවිට ආමන්ත්‍රණය කරන්න ලැබීම ඇත්තෙන්ම මට විශාල සතුටක්.

අධ්‍යාපන පරිවර්තනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රට තුළ ආර්ථික, සාමාජීය, සංස්කෘතිකමය වශයෙන් අලුත් වෙනසක්, පුනරුදයක් ඇතිකරන්නයි. ඒකේ අවසාන ඉලක්කය දියුණු සමාජයක්. දියුණු සංස්කෘතියක් සහිත රටක් කරා යන්න නම් ඒ සඳහා අපට වැදගත්ම පරිවර්තනය කරන්න වෙන්නෙ අධ්‍යාපන ක්ෂේත්‍රයේ.’

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය‍ මෙසේ ද කී ය:

‘2026 ඉඳලා ඒ අධ්‍යාපන විප්ලවය ඇති කරන්න අපි සූදානම්. ඒ ගමනේ විශාලම වගකීම පැවරෙන්නේ ඔබටයි. අධ්‍යාපනයේ තීරණාත්මක හැරවුමක් ගන්න සූදානම් වෙන අවස්ථාවේ ඔබව හමුවෙන්න, ඔබව අමතන්න ලැබීම සතුටක්. ඇත්තෙන්ම ඔබ ඉතිහාසයට එකතුවෙන්නෙ සුවිශේෂ කණ්ඩායමක් විදිහටයි. ඒ නිසා අපි ඇති කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට නායකත්වය දෙන්න, එය භාර ගන්න ලෑස්ති වෙන්න කියන ඉල්ලීමත් මම මේ අවස්ථාවේ ඔබෙන් කරනවා.

අධ්‍යාපනය මඟින් හැම අතින් ම දියුණු පරපුරක් ඇති කරන්න අවශ්‍යයි. ඒකට ක්‍රීඩාව ඉතාම වැදගත්. ඒ ක්‍රීඩාවෙන් ජයග්‍රහණය ලබන්න පුළුවන් වෙන නිසාම නෙවෙයි. ක්‍රීඩාව, ජය පරාජය වගේ ම ඉවසීම ප්‍රගුණ කරන්නත් අපව පුහුණු කරවනවා. ඒ වගේම සාමුහිකත්වය, කණ්ඩායම් හැඟීම වගේ ම එකිනෙකා මත සම්පූර්ණ විශ්වාසය තබා කටයුතු කරන්න ඕන ආකාරයත් අපට කියා දෙනවා. මේ ගුණාංග නැතිව අපට නිවැරදි ගමනක් යන්න බෑ. ඒ නිසා ඔබ අපි හැමෝම මේ ගුණාංග ප්‍රගුණ කරන්න අවශ්‍ය වෙනවා.

ඒ වගේ ම ක්‍රීඩාව අපි හැමෝගෙම ජීවිතයේ කොටසක් කරගන්න ඕන. ඔබ එවැනි තරුණ පරපුරක් වුණොත් තමයි ඔබට අපේ අනාගත පරපුර භාරගෙන ඒ අයට නිවැරැදි මාර්ගය පෙන්වන්න පුළුවන් වෙන්නේ. ඒ වගකීම නිවැරැදීව ඉටුකරන්න ඔබට අවශ්‍ය ධෛර්යය හා ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ ම අද දවසේ මේ ක්‍රීඩා උළෙලට සහභාගීවෙමින් ලබා දුන් දායකත්වය සහ පෙන්නුම් කළ කැපවීම අගය කරන අතර ම, ඔබ සියලු දෙනාගේ ම හෙට දවස යහපත් එකක් වෙන්න කියලත් මම ඔබට සුබ පතනවා.’

17වන අන්තර් විද්‍යාපීඨ ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට හිමි වූ අතර හාපිටිගම වව්නියා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඩබ්ලිව්. ඒ. එස් අනුත්තරා ක්‍රීඩිකාව දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත්, වවුනියා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ එස්. ජදුර්ශන් ක්‍රීඩකයා දක්ෂතම ක්‍රිඩකයා ලෙසත් අමාත්‍යවරිය අතින් සම්මාන ලැබූහ.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානීන්, විද්‍යාපීඨයන්හි විදුහල්පතිවරුන්, විද්‍යාපීඨ සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.