කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුතු රැසක් හෙට (20) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය.
ඒ අනුව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 200 ක පමණ වටිනාකමකින් යුත් අතිනවීන CT Scan යන්ත්‍රය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිත අතර, අලුත්වැඩියා කටයුතු සිදු කරන ලද 05 වාට්ටුව, මනෝ චිකිත්සක වෛද්‍ය සායනය සහ 38 වාට්ටුව ද විවෘත කිරීමට නියමිත ය.
කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ස්ථාපිත කර තිබූ CT Scan යන්ත්‍රය වසර 20 ක් පමණ පැරණි යන්ත්‍රයකි. දිනට CT Scan පරීක්ෂණ 20 ක පමණ අවශ්‍යතාවයක් ඇති නාගොඩ රෝහලේ පැරණි CT Scan යන්ත්‍රය දැනට වසර 02 ක පමණ කාලයක සිට අක්‍රීය තත්ත්වයේ පැවැතිණි. කළුතර දිස්ත්‍රික්කයටම CT Scan පරීක්ෂණ සිදු කර ගැනීම සදහා පහසුකම් ඇත්‌තේ කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සහ හොරණ රෝහලේ පමණක් වීම ද විශේෂත්වයකි.
එමෙන්ම නව ඖෂධ ගබඩාව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් විවෘත කිරීමට නියමිත අතර, මෙම ඖෂධ ගබඩාව වෛද්‍ය නිල නිවාසක් අළුත්වැඩියා කර සකස් කරන ලද ගොඩනැගිල්ලක පිහිටුවීම විශේෂත්වයකි.
කළුතර ගල්අස්ස ළමා හා මාතෘ රෝහල සඳහා යෝජිත නව පිවිසුම් මාර්ගය ද අමාත්‍යවරයා අතින් හෙට (20) විවෘත කිරීමට නියමිත ය.
ඉහත සංවර්ධන කටයුතු ජනතා අයිතියට පත් කිරීමෙන් පසු රොහලේ පාලනාධිකාරිය ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමග රෝහලේ ඉදිරි සංවර්ධන වැඩකටයුතු පිළිබඳව මෙන්ම දැනට පවතින ගැටළු කඩිනමින් නිරාකරණය කර ගැනීම උදෙසා විශේෂ සාකච්ඡාවක් ද රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිත ය.