ළමා ආරක්ෂණය හුදෙක් කාන්තාවන්ට පමණක් වෙන් වූ වගකීමක් නොවේ - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ළමා ආරක්ෂණය හුදෙක් කාන්තාවන්ට පමණක් වෙන් වූ වගකීමක් නොවේ - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
  • SocialShare:

ළමා ආරක්ෂණය කිසිසේත්ම කාන්තාවන්ට පමණක් වෙන් වූ වගකීමක් නොවන බවත්, දරුවන් රැකබලා ගැනීම හුදු කාන්තා වගකීමක් ලෙස නොසලකමින් කාන්තාවන්ගේ වෘත්තීය නිදහස සහතික කිරීම ඉතා නිවැරැදි අදහසක් මෙන්ම එය රටේ ආර්ථික ප්‍රගතියට අත්‍යාවශ්‍ය කාරණයක් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.

 "ශ්‍රී ලාංකාවේ කාන්තාවන්ගේ ආර්ථික සහභාගිත්වය වර්ධනය කිරීම" යන තේමාව යටතේ ලෝක බැංකු සමූහය මඟින් අද(17) කොළඹදී සංවිධානය කරන ලද වැඩසටහනේ ප්‍රධාන දේශනය සිදු කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළා ය.

ළමා රැකවරණය තහවුරු කරමින් කාන්තාවන්ට වැඩි වශයෙන් රටේ ආර්ථිකයට සම්බන්ධ වීමේ අවස්ථා පුළුල් කරමින් ඇයට ශ්‍රම බලකාය තුළ ඉහළ දියුණුවක් ලැබීමේ මඟ විවෘත කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, වැටුපක් ලබමින් හෝ නොලබමින් සිය ශ්‍රමය ලබා දෙන කාන්තාව ආර්ථිකයේ කේන්ද්‍රීය සාධකය වන බවයි. එහෙත්, සමාජීය වශයෙන් ඇයට පවතින අනේකවිධ බාධක හමුවේ කාන්තාවන්ට ශ්‍රම බලකායට සම්බන්ධ වීමට ඇති ඉඩ ප්‍රස්ථාව බොහෝ සෙයින් සීමා වී ඇති අතර, සංඛ්‍යා ලේඛන අනුව 32%ක් වන මෙරට කාන්තා ශ්‍රම බලකා සහභාගිත්වය පිරිමින්ගේ සහභාගීත්වය වන 74% ක ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු අඩු අගයක් ලෙස පෙන්වූව ද මෙරට ආර්ථිකය වෙනුවෙන් කාන්තාව දක්වන අසීමිත මෙහෙය එලෙස සංඛ්‍යා ලේඛන මඟින් ලඝු කළ නොහැකි බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා ය.

ළමා සුරැකුම් ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම මගින් මෙරට කාන්තාවන්ට පමණක් නොව පවුල් සංස්ථාවට ම පුළුල් ආර්ථික නිදහසක් ලැබෙන අතර, එය දරුවන්ගේ සංවර්ධනයට මෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවී සම්මතයන් වෙනස් කිරීමට ද උපකාරී වන බවද, කී අග්‍රාමාත්‍යවරිය, එලෙස කාන්තාවන්ට ශ්‍රම බලකාය වෙත යොමුවීමට වැඩි ඉඩක් ලැබීමෙන් මෙරට දළ දේශීය නිශ්පාදනය 20% ක අගයකින් වැඩි කළ හැකි බවත් අග්‍රාමාත්‍යවරිය පැවසී ය.

රැකියාවන්හි නියුතු දෙමාපියන්ට සහය වීමෙන් ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමටත් ජාතික සංවර්ධනයට වැදගත් ලෙස දායක වීමටත්, ඒ නිසා ම ළමා ආරක්ෂණ සේවා පුළුල් කිරීමටත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඔස්සේ මුල් ළමා විය සංවර්ධන වැඩසටහන් වැනි පියවර දැනටමත් ආරම්භ කොට ඇති බව අග්‍රාමාත්‍යවරිය කියා සිටියා ය.

එමෙන්ම ළමා ආරක්ෂණ සේවා සපයන ව්‍යාපාර සඳහා බදු දිරිගැන්වීම් ලබා දීම, වැඩකරන පවුල් සඳහා ආර්ථික සහනාධාර ලබා දීම සහ එම සේවාවේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක රාමුවක් දැනටමත් ක්‍රියාත්මක අතර සේවා සැපයීම පුළුල් කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් ද ඉතා වැදගත් වන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදි පැවසී ය.

එමෙන්ම මේ වෙනුවෙන් ලෝක බැංකු සමූහය මගින් ලබා දෙන සහයෝගය අග්‍රාමාත්‍යවරිය විසින් විශේෂ ඇගයුමට ද ලක් කරන ලදී.

මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය, ලෝක බැංකු සමූහයේ ශ්‍රී ලංකා කළමනාකරු Gevorg Sargsyan මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ නියෝජිතයින් ඇතුළු පෞද්ගලික අංශයේ හා රාජ්‍ය අංශයේ ආරාධිතයින් රැසක් සහභාගී වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.