අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවත්වා ගෙන යනු ලබන වෘත්තීය අධ්‍යාපන ආයතනවල සිසුන්ට ආකර්ෂණිය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ “ශ්‍රම මෙහෙයුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහාය ඇතිව, වෘත්තිය පුහුණු අමත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 311ම ආවරණය වන පරිදි ජුලි 04 වන දා පෙ.ව 8.00 මෙම වැඩසටහන ආරම්භ කෙරේ.
වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.
වසරකට සිසුන් ලක්ෂ 03කට ආසන්න පිරිසක් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින අතර, එයින් 240,000කට පමණ විශ්වවිද්‍යාල වරම් අහිමි වේ. එම සිසුන් අතරින්, 125,000ක් පමණ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණ ආයතන වෙත ඇතුළත් වන අතර 50,000ක පමණ පිරිසක් වෙනත් අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතන වෙත යොමු වේ.
ඒ අනුව, වාර්ෂිකව විශ්වවිද්‍යාල වරම් අහිමි වන 175,000ක් පමණ සිසුන් වෘත්තීය අධ්‍යාපනයට නැඹුරු කිරීම සහ ඔවුන්ට අධ්‍යාපනයට සුදුසු පසුබිමක් හා පහසුකම් සපයා දීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක් ව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබේ.
මෙම වැඩසටහන සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලබන සිසුන් 125,000 සමඟ, අනධ්‍යයන කාර්ය මණ්ඩලවල 10,000ක පමණ පිරිසක් සහ ප්‍රදේශවාසින්ද ඇතුළුව 160,000ක පමණ පිරිසක් එක්වීමට නියමිතය.
මෙම සාකච්ඡාවට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරු ඇතුළු ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරිහුද, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරිහුද, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක්ද එක්ව සිටියහ.