සම්මානිත මහාචාර්ය දේශමාන්‍ය ජේ. බී දිසානායකයන් වෙනුවෙන් "උපහාර මඤ්ජරී " අභිනන්දන ලේඛනාවලී ග්‍රන්ථය පිළිගැන්වීමේ උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් ජුනි 13 වැනි දා කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ දී පැවැත්විණි.
ජේ. බී. දිසානායක මැතිඳුන් මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ බිහි වූ ආචාර්ය මහාචාර්යවරුන් ගණනාවක් අතුරින් සුවිශේෂී විද්වතකු වන්නේ එතුමන්ගේ ශාස්ත්‍රීය සේවය විශ්වවිද්‍යාලයට පමණක් සීමා නොවී ඉන් බාහිර වූ සාමාන්‍ය සමාජය දක්වා පැතීරී ගිය නිසා බව මෙහි දී උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියා ය.
දශක පහකට අධික කාලයක් සරසවි ඇදුරකු ලෙස නූතන වාග්විද්‍යා ක්ෂේත්‍රය, සිංහල ව්‍යාකරණය, සිංහල සංස්කෘතික අධ්‍යනය පමණක් නොව ළමා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ද පර්යේෂණ සිදුකරමින් සහ ග්‍රන්ථ සම්පාදනය කරමින් ජේ. බී දිසානායකයන් සිදුකළ පුළුල් සාහිත්‍ය මෙහෙවර අසමසම වූ බවත් දරුවන්ගේ සිංහල දැනුම හා චින්තන දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් වටිනා පොත්පෙළ රචනා කරමින් ළමා ලෝකයට ජන කතා සහ ජනප්‍රවාද සමීප කළ ආකාරය අපූර්ව වූ බවත් අග්‍රාමාත්‍යවරිය පැවැසීය.
සිංහල භාෂාවේ කලාත්මක බව රැකගෙන සමස්ත ජනතාව වෙත භාෂාව සමීප කරවීම උදෙසා සිංහල අක්ෂර මාලාවේ සිට ව්‍යාකරණය දක්වා ම නව සංකල්ප ගෙන එමින් අපේ රට මනරම් භාෂාවකට උරුමකම් කියන අභිමානවත් රටක් ලෙස ලොව තුළ දිදුලන්නට මෙන්ම අපි මනරම් භාෂාවක් හා සංස්කෘතියක් හිමි මිනිසුන් බව මේ භූමියේ උපන් ජනතාවට දැන්වීමට ජේ. බී දිසානායකයන් ඉටු කළ මාහැඟි මෙහෙවරට හදවතින්ම ස්තුතිවන්ත වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මෙම අභිනන්දන ග්‍රන්ථය පිළිගැන්වීමේ උත්සවයට කොළඹ විශ්විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන්වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය ද බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.