නේපාලයේ ශ්‍රී ලංකා තානාපති Purna Bahadur Nepali මහතා ජුනි 12 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
මෙම හමුවේ දී අග්‍රාමාත්‍ය අමරසූරිය තානාපති Nepali මහතා පිළිගත් අතර, දෙරට අතර පවතින දීර්ඝකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ සහයෝගිතාව කෙරෙහි ශ්‍රී ලංකාව තබා ඇති විශ්වාසය තහවුරු කළා ය. සාකච්ඡාවේ දී ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාවේ වෙසෙන නේපාල ජාතිකයින් මුහුණ දෙන වීසා සම්බන්ධ ගැටළු ඇතුළු කරුණු රැසක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය.
අග්‍රාමාත්‍යවරිය සමඟ ඵලදායී සංවාදයක නිරත වීමට ලැබීම පිළිබඳව තානාපති Nepali මහතා සිය කෘතඥතාව පළ කළ අතර දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට නේපාලයේ කැපවීම ඔහු යළිත් අවධාරණය කළේ ය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් (පරිපාලන) ජේ.එම්.අයි.ආර්.කේ. ජයසුන්දර මහතා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් (සංවර්ධන) සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ සේවා නියුක්ති හා සංචාරක අමාත්‍යාංශයේ දකුණු ආසියා සහ සාර්ක් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් නිලුක කඩුවරුගමුව මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් ද සහභාගී වූහ.