මීගමුවේ ධීවර අභියෝගවලට සෘජු විසඳුම්

මීගමුවේ ධීවර අභියෝගවලට සෘජු විසඳුම්
  • SocialShare:

ඊයේ (2025 ජුනි 13) මීගමුව නගර ශාලාවේදී ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු සම්මේලනය පැවැත්විණි. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. ධීවර ජනතාවගේ ගැටලු හඳුනාගෙන, ඒවාට කඩිනමින් විසඳුම් ලබා දීමේ අරමුණින් මෙම රැස්වීම් මාලාව සංවිධානය කර ඇති අතර, ගාල්ලෙන් ආරම්භ වූ මෙම වැඩසටහනේ සිව්වන අදියර මෙය විය.

මෙහිදී සාකච්ඡා වූ ප්‍රධාන කරුණු හා ගනු ලැබූ තීරණ:

 * මීගමුව කලපු අර්බුදය: ධීවර ප්‍රජාව පෙන්වා දුන්නේ මීගමුව කලපුව අවට ජනතාවගේ හා ආයතනවල කසළ හා අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා එහි පරිසර පද්ධතිය විනාශ වෙමින් පවතින බවත්, කලපු ජීවීන්ට ජීවත්වීමට නුසුදුසු පරිසරයක් නිර්මාණය වී ඇති බවත්ය. ජලය යට ප්ලාස්ටික්, පොලිතීන් හා රබර් තට්ටු තැන්පත් වී තිබීම ඔක්සිජන් නිෂ්පාදනය හා මත්ස්‍ය වර්ධනයට බාධා පමුණුවන බව ඔවුන් කියා සිටියහ.

   * නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය: මීගමුව කලපුව සංවර්ධනය සඳහා රජයෙන් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, ඊට අමතරව සංචාරක අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 25ක් ද මේ සඳහා වෙන්කර ඇති බවත්, 'මීගමුව කලපු සංවර්ධන අධිකාරියක්' කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවත් පෙන්වා දුන්නේය. කලපුව පිරිසිදු කිරීම සඳහා අදාළ රාජ්‍ය හා පළාත් පාලන ආයතන, පොලීසිය, වෙරළ ආරක්ෂක බළකාය, හා සංචාරක මණ්ඩලය ඇතුළු සියලු පාර්ශවයන් ඒකාබද්ධ ව්‍යුහයක් යටතේ ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කළේය. නීති විරෝධී අපද්‍රව්‍ය බැහැර කිරීම් හා අනවසර දැල් භාවිතයන් වහාම නැවැත්විය යුතු බවට ද අවවාද කළ අතර, නීති විරෝධී ක්‍රියා පිළිබඳව පොලීසිය විසින් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පැවසීය.

 * හැමිල්ටන් ඇළේ ගැටලුව: ධීවර ප්‍රජාව පැහැදිලි කළේ හැමිල්ටන් ඇළට ආයතන හා නිවාස මගින් අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා දැඩි ලෙස දූෂණය වී ඇති බවත්, මඩ තැන්පත් වීමෙන් ඇළේ ගැඹුර අඩුවී බෝට්ටු ගමනාගමනයට බාධා වන බවත්ය.

   * නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය: මෙම ගැටලුව සම්බන්ධයෙන් වහාම නිරීක්ෂණ චාරිකාවක් සිදුකර, අදාළ සියලු රාජ්‍ය ආයතන සමඟ එක්ව විද්‍යාත්මක අධ්‍යයනයක් මත පදනම්ව කඩිනම් විසඳුම් ලබා දෙන බවට පොරොන්දු විය.

 * මොදා මත්ස්‍ය පැටවුන් හිඟය: මොදා මත්ස්‍ය වගාව සඳහා පසුගිය වසර දෙකක පමණ කාලයක සිට පැටවුන් හිඟයක් පවතින බව ධීවර ප්‍රජාව විසින් පෙන්වා දෙන ලදී. දේශීය වශයෙන් ලබා ගත හැකි පැටවුන්ගේ අධික මිල ජලජීවී වගාකරුවන්ට දැරිය නොහැකි බවත්, විදේශ රටවලින් අඩු මිලට පැටවුන් ආනයනය කිරීමට කටයුතු කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

   * නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය: මොදා මත්ස්‍ය පැටවුන් පිටරටින් ආනයනය කිරීමේ හැකියාව සොයා බලන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ධීවර දෙපාර්තමේන්තුව, NAQDA හා පෞද්ගලික අංශය සමඟ සාකච්ඡා කර, කෙටි කාලීන විසඳුමක් ලෙස අඩු මිලට පැටවුන් ලබා දීමට කටයුතු කඩිනමින් නිරාකරණය කිරීමට පියවර ගන්නා බව පැවසීය. ධීවර ආම්පන්නවල මිල ඉහළ යාම පිළිබඳව ද මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට අනුකමිටුවක් පත් කරන බවද පැවසීය.

මෙම රැස්වීමේදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව අඛණ්ඩව සොයා බලමින්, ධීවර ප්‍රජාව මුහුණ දෙන අභියෝග සඳහා කඩිනම් හා තිරසර විසඳුම් ලබා දීමට රජය කැපවී සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අවසන් වශයෙන් පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු මහත්මිය, නගරාධිපති, නාගරික මන්ත්‍රීවරුන්, ධීවර වරාය නීතිගත සංස්ථාව, ධීවර සංස්ථාව, ධීවර දෙපාර්තමේන්තුව ඇතුළු අමාත්‍යාංශයට අනුබද්ධ සියලුම ආයතනවල නිලධාරීන්, අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලීසිය, වෙරළ ආරක්ෂක බළකාය, ධීවර ජනතාව, ධීවර සංවිධාන හා විවිධ ආයතන නියෝජනය කරමින් විශාල පිරිසක් පැමිණ සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.