හෙද සේවාවේ අභිවෘද්ධිය උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අතර දීර්ඝ සාකච්ඡාවක්

හෙද සේවාවේ අභිවෘද්ධිය උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අතර දීර්ඝ සාකච්ඡාවක්
  • SocialShare:

හෙද සේවාවේ අභිවෘද්ධිය මෙන්ම හෙද නිලධාරීන්ට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු සංගමයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

වත්මන් හෙද සේවාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ නොවිසිදුණු ගැටලු කිහිපයකට කඩිනම් විසදුම් ලබාගැනීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ලිපියක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුව මෙම සාකච්ඡාව පැවැත්විණි. 

මෙහි දී ශ්‍රී ලංකා හෙද විශ්ව විද්‍යාලය පිහිටුවීමට අදාළ ව ශ්‍රී ලංකා හෙද විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීම හා කඩිනමින් විශ්ව විද්‍යාල ආරම්භ කිරීම, ප්‍රධාන රෝහල්වල පරිනත හෙද නිලධාරීන්ගේ අඩුව සපුරාලීම, හෙද සොයුරියන්ගේ සහ විශේෂ ශ්‍රේණීයේ හෙද නිලධාරින්ගේ නිල නාම හා වැටුප්තල ලබාදීම, ආයුර්වේද රෝහල්වල හෙද පුරප්පාඩු පිරවීම සහ ස්ථාන මාරු ක්‍රමවේදයක් සැකසීම, භාණ්ඩ භාරකත්ව දීමනාව හා අනතුරු දීමනාව සංශෝධනය කිරීම, ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෙද නිලධාරීන්ගේ දරුවන්ට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සදහා ප්‍රතිපාදන ලබා ගැනීම, උපාධිධාරි හෙද නිලධාරීන්ගේ වැටුප් වර්ධක වාසිය නොකඩවා ලබාගැනීම, හෘද කැතීටකරණ හෙද නිලධාරීන්ගේ දීමනා විෂමතාවය ඉවත් කිරීම, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (හෙද සේවා) තනතුර සඳහා අයදුම්පත්‍ර කැඳවීම ආදී කරණු රැසක් පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු විය.

සාකච්ඡාවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් කෙටිකාලීනව විසඳුම් ලබාදිය හැකි ඉල්ලීම් කිහිපයකට විසදුම් ලබාදීම පිළිබඳව අවධානය යොමු කළ අතර, තවත් ගැටළු කිහිපයකට විසඳුම් ලබාදීමට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයින් දැනුවත් කිරීමට ද පියවර ගන්නා ලදි.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් (පාලන) II චාමික ගමගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II සිසිර කුමාර, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ  අතිරේක ලේකම් (සංවර්ධන) ශම්මි දෙනාවත්ත, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උප සභාපති ආර්.කේ බටුවිට යන මහත්ම මහත්මින් ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් මෙන් ම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නියෝජනය කරමින් එහි සාමාජිකයින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.