ප්‍රංශ තානාපති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

ප්‍රංශ තානාපති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි
  • SocialShare:

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති Remi Lambert මහතා ජූනි 12 වන දින කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

මෙම අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරිය ප්‍රංශ තානාපති  Remi Lambert මහතා පිළිගත් අතර, ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය පැසසුමට ලක් කළා ය. දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානය යොමු වූ අතර, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා විෂයෙහි නිලධාරීන් සඳහා ප්‍රංශ භාෂා පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ ශ්‍රී ලංකා සිවිල් සේවකයින් සඳහා පුහුණු වැඩසටහන් ශක්තිමත් කිරීම කෙරෙහි ද මෙහි දී අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා ප්‍රංශ රජයේ සැලකිය යුතු ආයෝජන පැවැත්ම මෙන් ම, ශ්‍රී ලංකාවේ පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා, විශේෂයෙන්ම Paris Club හරහා ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රංශ රජයේ අඛණ්ඩ සහයෝගය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය සිය ප්‍රසංශාව පළ කළා ය.

මෙහි දී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට  මෙන් ම දෙරටේ සංස්කෘතික, අධ්‍යාපනික සහ ආර්ථික ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීමට සඳහා  ප්‍රංශ රජයේ කැපවීම සහ සහයෝගය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Lambert මහතා යළි අවධාරණය කළේ ය.

මෙම අවස්ථාවට කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි, Marie-Noelle Duris මහත්මිය සහ සහයෝගීතා හා සංස්කෘතික උපදේශක, Olivia Bellemere මහත්මිය ද සහභාගී වූ අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් (පරිපාලන), ජේ.එම්.අයි.ආර්.කේ. ජයසුන්දර මහතා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් (සංවර්ධන), සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා කලාප අධ්‍යක්ෂ, ඉසුරිකා කරුණාරත්න මහත්මිය ද සහභාගී වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.