දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරුවීම් ක්‍රියාවලිය පහසු කිරීම, විධිමත් කිරීම සහ කාර්යක්ෂම කිරීම යන මූලික අරමුණු මුල් කරගනිමින් නිර්මාණය කරන ලද DSTMS (Dentel Surgen Transfer Management System) නව ඩිජිටල් යෙදුම (APP) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද (03) පෙරවරුවේ නිල වශයෙන් එළිදක්වන ලදී.
රුපියල් මිලියන 10කට අධික මූල්‍ය වටිනාකමකින් සමන්විත ඩිජිටල් යෙදුම හා ඊට අදාළ ඩිජිටල් පද්ධතිය ප්‍රජා සත්කාරයක් ලෙස BISTEC GLOBAL ආයතනය මගින් නොමිලේ නිර්මාණයකර දී ඇති අතර එම පද්ධතියේ හිමිකාරීත්වයද එම ආයතනය මගින්සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීමටද පියවර ගෙන ඇත.
දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කටයුතුවලදී එම නිලධාරීන්ගේ පත්වීම් දිනය, පළමු ශ්‍රේණියට උසස් වූ දිනය, විශේෂඥ ශ්‍රේණියට පත්වූ දිනය වැනි විශාල ලේඛන සහ දත්ත ප්‍රමාණයක් පරිශීලනය කිරීමට සිදුවේ. ඊට අමතරව එම නිලධාරීන් එකම සේවා ස්ථානයක කොපමණ කාලයක් සේවය කලේද, විශේෂිත තනතුරු සදහා සුදුකම් ලබා ඇත්තේද, වැනි කරුණු ද සැලකිය යුතුව ඇත. මෙම සංකීර්ණ ක්‍රියාදාමය සදහා ඉතා විශාල කාර්යාලීය වේලාවක් ගතවන අතර අත්වැරදීම් සිදුවීමටද හැකියාවක් ද පවති.
මේ පිළිබදව විශේෂ අවධානය යොමුකරමින් නිර්මාණය කළ මෙම නව ඩිජිටල් යෙදුම මඟින් වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලියට අදාළ සියලු අදියරයන්, ඉල්ලීම් ඉදිරිපත් කිරීම, දත්ත කළමනාකරණය, තොරතුරු සත්‍යාපනය, අනුමැති ක්‍රියාවලිය සහ පරිපාලන අධීක්ෂණය එකම ඒකාබද්ධ ඩිජිටල් වේදිකාවක් ඔස්සේ විධිමත්ව ක්‍රියාත්මක කිරීමට අවකාශ සැලසේ.
එමෙන්ම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව සහ වේගවත්භාවය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමටත්, පරිපාලනමය ප්‍රමාදයන් අවම කර ගැනීමටත්, අනිකුත් දෝෂ අවම කරමින් තීරණ ගැනීමේ ක්‍රියාවලියේ විශ්වසනීයභාවය තහවුරු කිරීමත් මෙම නව ඩිජිටල් යෙදුම මගින් අපේක්ෂා කෙරේ.
මෙම නව ඩිජිටල් යෙදුම භාවිතයෙන් මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ සේවය කරන දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සහ විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 1500කට අධික නිලධාරීන්ට අදාළ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලිය වඩාත් පහසු, ක්‍රමවත් සහ විනිවිදභාවයෙන් යුත් ආකාරයකින් සිදු කිරීමට හැකියාව ලැබේ.
රාජ්‍ය සේවාවන් ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව ක්‍රියාත්මක වන මෙම නවෝත්පාදන පියවර, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාලන හා පරිපාලන යාන්ත්‍රණයන්හි නවීනත්වය, වගවීම සහ තිරසාරභාවය තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සේවාවේ සියලු පරිපාලන ක්‍රියාවලීන් ක්‍රමානුකූලව ඩිජිටල්කරණයට ලක් කරමින්, විනිවිදභාවය, වගවීම හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවක් බව පැවසීය. තාක්ෂණය මත පදනම් වූ පරිපාලන පද්ධති හඳුන්වාදීම තුළින් රාජ්‍ය සේවාවේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමට මෙන්ම සෞඛ්‍ය වෘත්තිකයන්ට සාධාරණ හා විශ්වාසදායක සේවා පරිසරයක් නිර්මාණය කිරීමට හැකිවන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන්, අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) වෛද්‍ය ඉන්දික ජාගොඩ, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය අරුණ අබේවර්ධන, භාණ්ඩාගාරික වෛද්‍ය ශමිල් පද්මපෙරුම, BISTEC GLOBAL ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අනුරුද්ධ ගජනායක, තාක්ෂණ නිලධාරී චන්දිමා රණවීර, යන මහත්ම මහත්මීන් ඇතුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.


