දිනකට වී මෙට්‍රික් ටොන් 10කට ආසන්න ප්‍රමාණයක් වේලීමේ ධාරිතාවය සහිත, රුපියල් මිලියන 10ක් පමණ වටිනා නවීන තාක්ෂණික වී වේලන යන්ත්‍ර (Dryers) 50ක් දිවයින පුරා පිහිටි සමුපකාර සමිති වෙත ප්‍රදානය කිරීමට රජය තීරණය කර ඇත.
මෙරට නිෂ්පාදන ක්‍රියාවලිය සක්‍රීය කරමින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීම සහ සමුපකාර ක්ෂේත්‍රය දේශපාලන බලපෑම්වලින් තොරව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් රජය විසින් සුවිශේෂී ව්‍යාපෘති කිහිපයක් දැනටමත් දියත් කර ඇත.
පැවති දේශපාලන හිතවත්කම් මත ප්‍රතිපාදන බෙදාහැරීමේ ක්‍රමය මුළුමනින්ම වෙනස් කරමින්, වඩාත් ක්‍රියාශීලී සහ ස්ථාවර මට්ටමක පවතින සමුපකාර සමිතිවල ප්‍රගතිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක විමධ්‍යගත ප්‍රතිපාදන වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.
එම වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙන යමින්, අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ වී වේලීමට එල්ල වන බාධා සහ මහා මාර්ග අයිනේ වී වේලීමෙන් ගොවි ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සහ අනතුරු සැලකිල්ලට ගෙන රජය ඒ සදහා සෘජුව මැදිහත් වීමට තීරණය කර ඇත.
නිසි ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරමින් වී වේලන යන්ත්‍ර අවශ්‍ය සමූපකාර සමිතිවලට මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර මේ තුළින් ගොවීන්ට තම අස්වනු සමූපකාර වෙත අළෙවිකර ඉහළ මිලක් ලබා ගැනීමටත්, සමූපකාර සාමාජිකත්වය හිමි ගොවි ජනතාවට ඉතා පහසුවෙන් අදාළ වියලන යන්ත්‍ර භාවිත කර තම අස්වනු වියලා ගැනීමටත් අවස්ථාව සැලසේ.
පසුගිය මහ කන්නයේදී වාර්තාගත වී අස්වැන්නක් ලැබුණු අතර, මෙම යල කන්නයේදී ද ගොවීන් විශාල වශයෙන් වී වගා කර තිබෙන බැවින් රට තුළ කිසිඳු සහල් හිඟයක් ඇතිවීමට ඉඩක් නැත. වී අලෙවි මණ්ඩලය සතු සියලු ගබඩා වහා විවෘත කරමින් සතොස සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් මෙම යල කන්නයේ වී අස්වනු ගොවීන්ගෙන් සාධාරණ මුදලකට මිලදී ගැනීම සදහා වන කටයුතු කඩිනම් කිරීම අරඹා තිබේ.
රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමෙන් වෙළෙඳපොළ තුළ සාධාරණ තරඟකාරීත්වයක් ඇති කර, පාරිභෝගිකයාට සහනදායි මිලකට සහල් ලබාදීමටත්, පෞද්ගලික අංශය ද ගොවීන්ට සාධාරණ මිලක් ගෙවන තත්ත්වයට පත් කිරීමටත් කටයුතු කිරීම අපේක්ෂාවයි.


