මහමාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය ඇරඹේ

මහමාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය ඇරඹේ
  • SocialShare:

මහමාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණ කටයුතු සහ ගේට්ටු සහිත වාන් නිර්මාණයක් ඉදිකිරීම “වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහන යටතේ ඊයේ (02) ආරම්භ කෙරුණි.

මෙම ව්‍යාපෘතිය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 83.20කි.

අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ වාරි ව්‍යාපෘති ජනතා කේන්ද්‍රීයව ක්‍රියාත්මක වන බවත්, ගොවි ජනතාවට සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට වැඩි සහන ලබාදීමට රජය උත්සාහ කරන බවත්ය. වී මිල ස්ථාවර කිරීම, පොහොර සහ අනෙකුත් කෘෂිකාර්මික සැපයුම් ශක්තිමත් කිරීම පිළිබඳවඳ අමාත්‍යවරයා මෙහිදි අදහස් පළ කළේය. 

ලෝකයේ යුද්ධ තත්ත්වයන් පැවතියත් මෙරට කිසිදු ප්‍රධාන කර්මාන්තයක් බිඳ වැටීමට ඉඩ නොදුන් බවද අමාත්‍යවරයා පැවසීය.

ඔහු සඳහන් කළේ ඉන්ධන හිඟයක් ඇතිවීමද වළක්වා ගත් බවත්, පෞද්ගලික පොහොර සමාගම් රජයට සහය වෙමින් ගොවීන්ට අවශ්‍ය පොහොර සැපයීමට දායක වූ බවත්ය. එම සමාගම් සතුව තිබූ පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදාහැරීමට සහාය ලබාදුන් බවද ඔහු කියා සිටියේය.

තවද පෞද්ගලික ආයතන පිළිබඳව ඇති විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමින්, එවැනි ආයතන ගොවීන්ට හා රජයට සේවය කරන බවත්, ඉදිරියේදී පොහොර මිල පහළ යාම අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.