සංචාරක මග පෙන්වන්නන්ට, “වනසංරක්ෂණ මාර්ගෝපදේශකයින්” ලෙස වෘත්තිමය පුහුණුවක් සමග සහතිකයක්

සංචාරක මග පෙන්වන්නන්ට, “වනසංරක්ෂණ මාර්ගෝපදේශකයින්” ලෙස වෘත්තිමය පුහුණුවක් සමග සහතිකයක්
  • SocialShare:

සංචාරක මග පෙන්වන්නට වන සංරක්ෂන මාර්ගෝපදේශකයින් ලෙස කටයුතු කිරීමට විධිමත් වෘත්තිමය පුහුණුවක් සමග සහතිකයක් මෙන්ම හැදුනුම්පතක් නිකුත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර අද (16) පරිසර අමාත්‍යංශයේදී පැවැත්විණි.

මෙහිදි වන සංරක්ෂන මාර්ගෝපදේශකයින් 62 දෙනෙකු පුහුණුව සම්පුර්ණ කළ අතර ඉන් 38 දෙනකු සදහා  සහතිකපත් ප්‍රදානය අද(16) පරිසර අමාත්‍යාංශයේදී සිදුවිය. 

නකල්ස් ලෝක උරුම සංරක්ෂිත වනාන්තරය තුළ පසුගිය සමයේ අවිධිමත් ලෙස සහ පරිසර පද්ධතියට හානිකර ලෙස සිදුවන අනවසර සංචාරක ක්‍රියාකාරකම් (ගිනි දැල්වීම්, කසල බැහැර කිරීම්, අධික ශබ්ද ඇති කිරීම්, විශාල කණ්ඩායම් එකතුවන ෆේස්බුක් සාද වැනි) සැලකිල්ලට ගනිමින් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක වලින් ලියාපදිංචි වූ සංචාරක මග පෙන්වන්නන් 62 දෙනෙකු සදහා මෙම පුහුණුව ලබා දුන්අතර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පළාත් වෙළද වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව  මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

වන සංරක්ෂණ පුහුණු විදුහල යටතේ පවතින ඉනාමළුව ක්ෂේත්‍ර පුහුණු මධ්‍යස්ථානයේ දින 05 පුරා මෙම පුහුණුව පැවැත් වූ අතර  ඒ සදහා මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව සහ විෂයන් පිළිබඳව ප්‍රවීණ විශේෂඥයින් විසින් සම්පත් දායකත්වය ලබා දී තිබේ.  ඉදිරියේදී පුහුණුව ලැබූ පිරිසට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පළාත් වෙළද වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත හැදුනුම්පතක් නිකුත් කිරීමටද නියමිතය.

සංචාරක මග පෙන්වන්නන්ගේ රැකියාවේ ගුණාත්මකභාවය ඉහල නැංවීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ද නියමිතය. වන සංරක්ෂක ජනරාල් නිශාන්ත එදිරිසිංහ, මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සඳමාලි හේවගේ මිය සහ මහනුවර දිසා වන නිලධාරි භාරත දිසානායක  ඇතුළු පිරිසක්  මෙම අවස්ථාවට එක් වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.