ජාතික ආර්ථිකයට ග්‍රාමීය ජනතාව මැදිහත් කරගන්න අවශ්‍ය ආයෝජන ගමට ගෙනඒමට කටයුතු කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ජාතික ආර්ථිකයට ග්‍රාමීය ජනතාව මැදිහත් කරගන්න අවශ්‍ය ආයෝජන ගමට ගෙනඒමට කටයුතු කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
  • SocialShare:

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම අලුත් ව්‍යාපෘතිය ආරම්භ කර  ජාතික ආර්ථිකයට ග්‍රාමීය ජනතාව මැදිහත් කරගැනීමට  අවශ්‍ය ආයෝජන ගමට ගේන්න රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි  අමරසූරිය පැවසුවාය.

මන්නාරම  නානට්ටම් ප්‍රදේශයේ  අද (12)  පැවති ජනහමුවක්  අමතමින් අගමැතිතුමිය මේ බව සඳහන් ක⁣ළාය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අපේ රට තීරණත්මක තැනකට ඇවිත් තිබෙනවා. ජාතික ජනබල වේගය ජනතාවගේ අපේක්ෂාවන් තේරුම් ගත්ත ආණ්ඩුවක් මේ රටේ තිබුණු දූෂිත දේශපාලනය ඉවත් කරන්න ජාති, ආගම් භේද ඉක්මවා ගිහිල්ලා දූෂණයට විරුද්ධව ජනතාව ඡන්දය පාවිච්චි කළා ඒ නිසා 2024 දී අනුර කුමර දිසානායක මහතා ජනාධිපති කරන්න පුළුවන් වුණා.  ඊට මාසෙකට පස්සේ ඉතිහාසය වෙනස් කරන පාර්ලිමේන්තුවක් අපි නිර්මාණය කළා. ඒ පාර්ලිමේන්තුවේ එකසිය පනස් නව දෙනෙක්ගෙන් යුත් ආණ්ඩුවක් අද තිබෙනවා. දූෂණයට එරෙහි වන විශාල කණ්ඩායමක් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා.  සියලු ජාති, ආගම්, ප්‍රදේශ නියෝජනය කරන ආණ්ඩුවක් අද නිර්මාණය වෙලා තිබෙනවා.  තනි පක්ෂයක් ආණ්ඩුවක් හදලා සියලු දෙනාම නියෝජනය කරන පළමු අවස්ථාව මෙයයි.  මේ සියලුම ජයග්‍රහණ ලබා දුන්නේ.ජනතාවයි එහි ජයග්‍රාහකයන්  ජනතාවයි.  

ජනතාව රජය මත තබපු විශ්වාසය රැකගෙන ජනතා අපේක්ෂාවන් ඉෂ්ට කරන්න අපි කැපවී සිටිනවා. 

අපි රට භාර ගන්නකොට ආර්ථිකය කොච්චර දුර්වලද කියලා ඔබ දන්නවා ලෝකය ඉදිරියේ අපි බංකොලොත් රාජ්‍යයක් කියලා නිල වශයෙන් දැනුම් දී තිබුණා.  වසර ගණනාවක් තිස්සේ ලංකාවේ ආර්ථිකය වර්ධනයක් තිබුණේ නැහැ. ඍණ  ආර්ථිකයක් තිබුණේ.  සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා තිබුණා.  දේශපාලන අධිකාරියේ තිබුණු දූෂිතභාවය නිසා ආයෝජකයෝ මේ රටට එන්න කැමැති වුණේ නෑ. අද අපි ඒ සියල්ල වෙනස් කරල තිබෙනවා බංකොලොත් කියන ලේබල් එක ගලවගන්න අපි නිල වශයෙන් සමත් වෙලා තිබෙනවා.  ආර්ථිකය,  වර්ධනය කියන දිශාවට හරවන්න අපිට හැකි වෙලා තිබෙනවා.  ආයෝජකයෝ එන්න පටන් අරගෙන තිබෙනවා.  ජාත්‍යන්තරය තුළ අපි ගැන විශ්වාසය වැඩිවෙමින් තිබෙනවා.   

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම අලුත් ව්‍යාපෘතිය ආරම්භ කරලා,  ජාතික ආර්ථිකයයට ග්‍රාමීය ජනතාව මැදිහත් කරගන්න අවශ්‍ය ආයෝජන ගමට ගේන්න අපි කටයුතු කරමින් යනවා.

ජාතික ජනබල වේගය ආණ්ඩුවේ පළමු අයවැය අපි සම්මත කරගත්තා. ආර්ථිකය තාමත් ශක්තිමත් නැති වුනත් අයවැයෙන් ප්‍රධාන කාරණා දෙකක් ඉෂ්ට කරගන්න අපිට අවශ්‍ය වුණා. එකක් ආර්ථිකය සංවර්ධනය වන දිශාවට යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, අනිත් එක තමයි ආර්ථික ප්‍රශ්න නිසා බැටකාපු ජනතාවට සහන වැඩි කරන්න අපිට අවශ්‍ය වුණා.  ඒ නිසයි අපි අස්වැසුම දෙන ප්‍රමාණය වැඩි කළේ වගේම ඒ කාලසීමාව දීර්ඝ කළේ.  අස්වැසුම තිබුණත් නැතත් තුන්සියට අඩු පාසල්වල දරුවන්ට පොත්පත් ගන්න අපි වවචර් එකක් ලබා දුන්නා,  සමාජ ආරක්ෂණ ව්‍යුහය ශක්තිමත් කරන්න අපි මැදිහත් වුණා .

මෙතෙක් පැවති ආණ්ඩු ජනතාවට බරක් වුණා. නමුත් අද අපිට තිබෙන්නේ ඉතා කුඩා අමාත්‍ය මණ්ඩලයක්. අපේ ආණ්ඩුව ඔබට බරක් වෙලා නැහැ. වියදම් අඩු කරලා තිබෙනවා,  නාස්ති අඩු කරලා තිබෙනවා. හොරකම් සිදුවෙන්නේ නැහැ.

ජනතාවට බරක් නොවන එහෙම ආණ්ඩුවක් නිසා තමයි අපිට ජනතාවට සහන දෙන්න හැකි වුණේ.   මේ අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප  වැඩි  කළා. අද වෙනකොට රාජ්‍ය සේවකයාට හොඳ වැටුපක් ගන්න පුළුවන් තැනකට පත්වෙලා තිබෙනවා. රාජ්‍ය සේවකයින්ට නිදහසේ වැඩ කරන අවස්ථාව ලබා දීලා තිබෙනවා.  දේශපාලන උවමනා මත නෙමෙයි,  දත්ත මත පදනම් වෙලා ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්න රාජ්‍ය සේවකයින්ට අපි අවස්ථාව ලබා දීලා තිබෙනවා.  අපි බලාපොරොත්තු වෙන්නෙත් අන්න ඒ වගේ ස්වාධීන රාජ්‍ය සේවයක්.  ජනතාවාදී ආණ්ඩුවක් වගේම ජනතාවාදී රාජ්‍ය සේවයක් අපිට අවශ්‍යයි. නස්තිය හොරකම නැති කාර්යක්ෂම ජනතාසංවේදී රාජ්‍ය සේවකයන් අපිට අවශ්‍යයි.   ඒ සඳහා අවශ්‍ය  පරිසරය අපි නිර්මාණය කරලා තිබෙනවා. 

ග්‍රාමී ආර්ථිකය සංවර්ධනය කරන්න අපි මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන්කළා. ඒ මුදල හරියටම ජනතාව වෙනුවෙන් පාවිච්චි කරන්න නම් ප්‍රාදේශීය සභාවත් සුද්ධ කරන්න ඕන.  ගමේ ඉන්න නායකයන් හොරු නම්  ඒ මුදල්  වෙන් කිරීමේ  ප්‍රතිඵලයක් නැහැ . ඒ නිසා  පළාත් පාලන මැතිවරණය මේ තරම් තීරණාත්මක වී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

 පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙගදීෂ්වරන් ඇතුළු මහජන නියෝජිතයින් ජාතික, ජනබල වේගයේ පලාත්පාලන  අපේක්ෂකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.