කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ කටයුතු සඳහා විකල්ප වැඩපිළිවෙළක්

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ කටයුතු සඳහා විකල්ප වැඩපිළිවෙළක්
  • SocialShare:

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ  විකිරණ පරීක්ෂණ යන්ත්‍ර  02  අක්‍රීය තත්ත්වයට පත් ව ඇති නමුත් රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සදහා රෝහල තුළ විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  එස්.පී.ඒ.එල් රණවීර මහතා සඳහන් කළේ ය.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ යන්ත්‍ර 02  අක්‍රීයවීම හේතුවෙන් විකිරණ පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන් ම අඩාල වී ඇති බවට මාධ්‍ය වාර්තා පළවීම සම්බන්ධයෙන් කළ විමසීමක දී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම කරුණු පැහැදිලි කරනු ලැබීය.

මෙලෙස බිඳවැටුණු යන්ත්‍ර දෙකම පැරණි විකිරණ පරීක්ෂණ යන්ත්‍ර වන බවත්,  ක්‍රියාකාරී තත්ත්වයේ පැවැති හදිසි අනතුරු ඒකකයේ එකම විකිරණ යන්ත්‍රය පසුගිය සදුදා  දින අක්‍රීය තත්ත්වයට පත් වූ බව පෙන්වා දෙන ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා  එම විකිරණ පරීක්ෂණ යන්ත්‍රය යථාවත් කිරීම සදහා අදාළ සමාගමට මේ වනවිටත් දැනුම් දී ඇති බව ද පැවසීය.  අනෙක් විකිරණ පරීක්ෂණ යන්ත්‍රය මීට ප්‍රථම අක්‍රීය තත්ත්වයට පත් ව ඇති  බව ද පැරණි යන්ත්‍රයක් වන එහි අළුත්වැඩියා කටයුතු ද සිදු කරන ලෙස අදාළ සමාගමට දැනුම් දී ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

විකිරණ පරීක්ෂණ යන්ත්‍ර දෙකම යථාවත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට හා ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයට මේ වනවිටත් දැනුම් දී ඇති බවත්, අදාළ සමාගම් සමග එම යන්ත්‍ර යථාවත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව  ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහි දී පැවසී ය. 

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ  විකිරණ පරීක්ෂණ යන්ත්‍ර  මෙලෙස  අක්‍රීය තත්ත්වයට පත් වූව ද රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාම සදහා කඩිනමින් විකල්ප ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, ඒ අනුව රෝහල තුළ ම වන අනෙකුත් විකිරණ පරීක්ෂණ යන්ත්‍ර භාවිතා කරමින් එම කටයුතු සිදු කරන බව ද කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  එස්.පී.ඒ.එල් රණවීර මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.