"ක්ලීන් ශ්‍රී ලංකා" යටතේ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමට වැඩසටහනක්

  "ක්ලීන් ශ්‍රී ලංකා" යටතේ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමට වැඩසටහනක්
  • SocialShare:

අදට (15) යෙදී ඇති ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයට සමගාමීව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සමාජය තුළ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීමේ වැඩසටහනක් “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය සහ කෘෂිකර්ම අමාත්‍යාංශවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (15) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පෙන්වා දුන්නේ පුරවැසියාට ගුණාත්මක සහ සුරක්ෂිත ආහාර වේලක් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබෙන ප්‍රතිපත්ති හා සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බවයි.

පාරිභෝගිකයන්ට ගුණාත්මක සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පාරිභෝගිකයන්ට සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම, පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මෙන්ම ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ආහාර ප්‍රමිතිකරණය සහ ගුණාත්මකභාවය සඳහා මෙරට තිබෙන ප්‍රතිපත්ති සහ සැලසුම් ප්‍රායෝගික තලයට ගෙන ඒමට "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන හරහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික ඉලක්ක සපුරා ගැනීම, නිෂ්පාදන භෝග සුරක්ෂිත කිරීම සහ ගබඩාකරණය සඳහා "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන ඒකාබද්ධ කර ගැනීම පිළිබඳවද අවධානය යොමු විය. ආපනශාලා සහතිකකරණය, වීදි වෙළෙඳුන් නියාමනය, වීදි ආහාර ස්ථාන හා රථ ලියාපදිංචි කිරීම, පුද්ගල පුහුණු ලියාපදිංචිය සම්බන්ධයෙන් දැනට පවතින නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරු සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය, වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල සහ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, කාර්මික තාක්ෂණ ආයතනය, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සහ මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.