ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වය සංඛේතවත් කරමින් එන්නත් පනස්දහසක පරිත්‍යාගයක්

ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වය සංඛේතවත් කරමින් එන්නත් පනස්දහසක පරිත්‍යාගයක්
  • SocialShare:

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර විශේෂ හමුවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය සනිටුහන් කරමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීම මෙම හමුවේ විශේෂ අරමුණ විය.
මෙම හමුවට සමගාමීව ප්‍රථමයෙන් මෙරට රජයේ රෝහල්වල භාවිතය සදහා රුපියල් මිලියනයක වටිනාකමින් යුතු Furosemide Injection (20mg/2ml) ෆූරෝසමයිඩ් එන්නත් 50000 ක තොගයක් ද ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලීන් ද ජයතිස්ස මහතා වෙත වෛද්‍ය සැපයුම් අංශයේ දී භාරදීමට කටයුතු කරනු ලැබී ය.
පරිත්‍යාගය භාර ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ තුළින් ඉදිරියේ දී දියත් කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව පුළුල්ව සාකච්ඡාවට ලක් වූ අතර, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ වැඩසටහන් කිහිපයකම වත්මන් ක්‍රියාකාරිත්වය, ප්‍රගතිය පිළිබඳව තොරතුරු විමසා බැලීම ද සිදු විය.
ඉදිරි කාලය තුළ මෙරට දිවයින ම ආවරණය වන පරිදි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන දහසක් ස්ථාපිත කර ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ වැඩසටහන මෙහි දී ඉන්දීය මහකොමසාරිස්වරයාගේ විශේෂ අගය කිරීමට ද ලක් විය.
වත්මන් රජය සෞඛ්‍ය සේවාව වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කර තිබීම තුළින් ඉදිරි කාලය තුළ දී මෙරට සෞඛ්‍ය සේවාවේ පරිවර්තනීය වෙනසක් බලාපොරොත්තු වන බව ද, එම පරිවර්තනීය වෙනසේ දී අසල්වාසී මිතුරා ලෙසින් ලබා දිය හැකි උපරිම සහය නිබඳව ලබාදෙන බව ද මහ කොමසාරිස්වරයා, අමාත්‍යවරයා හමුවේ මෙහි දී අවධාරණය කර සිටියේ ය.
මෙරට විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ව්‍යාපෘති ගණනාවක් ජනතා සුභසාධනය වෙනුවෙන් ක්‍රියාවට නංවා තිබෙන බව ද සිහිපත් කළ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා, මෙරට ක්‍රියාත්මක නිවාස සංවර්ධන ව්‍යාපෘති, සුවසැරිය ගිලන් රථ සේවාව ආදිය සඳහා මෙරට ජනතා ප්‍රසාදය ඉහළින් ම ලැබෙන බව ද අමාත්‍යවරයා හමුවේ පැවසී ය.
වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණ මෙරට ජනතාවට තත්ත්වයෙන් උසස් ගුණාත්මක ඖෂධ අඛණ්ඩව නොමිලේ රාජ්‍ය අංශයෙන් ලබා දෙන අතර ම, එම ඖෂධ සාධාරණ මිල ගණන් යටතේ වෙළඳ පොළට ලබා දීමට කටයුතු කිරීම බව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවසී ය.
බටහිර සහ ආයුර්වේද වෛද්‍ය සංකලනයන්ගෙන් යුතු වෛද්‍ය සේවා මෙරට ආරම්භ කර දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරයක් නුදුරේ ම ආරම්භ කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
මෙරට රජයේ රෝහල් කිහිපයක භෞතික සම්පත් සංවර්ධනය කිරීම වෙනුවෙන් ද, පැවති කොවිඩ් අර්බදය සහ ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියානු රජය මෙරටට දැක්වූ අනුපමේය මෙහෙවර වෙනුවෙන් අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයාට සිය රජයේ කෘතවේදීත්වය ද මෙහි දී පුද කර සිටියේ ය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.