ජාතික සංවර්ධනය සඳහා කාන්තාවන් සිදුකරන වැදගත් කාර්යභාරය හඳුනා ගනිමින් ආර්ථිකය තුළ කාන්තාවන්ගේ පූර්ණ සහභාගීත්වය සීමා කරනු ලබන බාධක බිඳ දැමීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
ඊයේ(14) කොළඹ ගෝල් ෆේස් හෝටලයේ දී පැවති ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) එක්ව සංවිධානය කරන ලද එක්සත් රාජධානියේ She Trades Commonwealth+ අරමුදල මඟින් දියත් කරනු ලබන She Trades Sri Lanka Hub අවස්ථාවට එක්වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
“ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා කාන්තාවන් ප්‍රධාන භූමිකාවක් ඉටු කරනවා. නමුත්, ඔවුන්ගේ අතිමහත් දායකත්වය හමුවේ වුව ද, ව්‍යුහාත්මක වශයෙන් පවතින බාධක නිසා ආර්ථිකය තුළ ඔවුන්ගේ පූර්ණ සහභාගීත්වය සීමා කරලා තිබෙනවා. ව්‍යාපාරික නායකයින්, ව්‍යවසායකයින් සහ අපනයනකරුවන් ලෙස කාන්තාවන්ට ඉදිරියට යා හැකි ආර්ථිකයක් නිර්මාණය කරමින් මෙම බාධක බිඳ දැමීමට අපගේ රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ජාතික සංවර්ධනය සඳහා කාන්තාවන්ගේ වැදගත් කාර්යභාරය හඳුනා ගනිමින් ආර්ථිකයට කාන්තාවන්ගේ පූර්ණ සහභාගීත්වය සීමා කරන බාධක බිඳ දැමීමට රජය කැපවී සිටිනවා. ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතුළත් ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම, මූල්‍ය ඇතුළත් කිරීම් සහ ගෝලීය වෙළඳපොලට ප්‍රවේශය විවෘත කිරීම මඟින් කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ICT, කෘෂි ව්‍යාපාර සහ ඉංජිනේරු අංශ සඳහා මෙහි දී රජයේ දායකත්වය මූලික වශයෙන් ලබා දීලා තියෙනවා.
ව්‍යවසායක කාන්තාවන් සඳහා සුදුසු පරිසරයක් ගොඩනගමින්, කාන්තාවන්ගේ ආර්ථික සහභාගීත්වය සීමා කරන ළමාරක්ෂක, වැඩිහිටි සත්කාර සහ ආබාධිත සේවා වැනි අංශ ශක්තිමත් කර කාන්තාවන්ට සහනයක් ලබා දීමට අප රජය කටයුතු කරනවා.
කාන්තා ව්‍යවසායකයින්ට ව්‍යවසායකත්ව දැනුම, අන්තර්ජාල පුහුණුව හා ජාත්‍යන්තර වෙළඳපොල අවස්ථා ලබා දීම සඳහා කටයුතු සලසා තිබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම සහ ගෝලීය වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම, තිරසාර වෙළෙඳපොලක් නිර්මාණය කිරීම ප්‍රධාන උපාය මාර්ග වෙනවා.
අවශ්‍ය නිපුණතා, මූල්‍ය සම්පත් සහ ඩිජිටල් වෙළඳ ප්‍රවේශය තුළින් කාන්තාවන් සන්නද්ධ කිරීම තුළින් පුළුල් ප්‍රතිපත්ති ඇතුළත් කිරීම සහ තිරසාර සංවර්ධනය හරහා කාන්තාවන් ආර්ථික සංවර්ධනයේ පුරෝගාමීන් බවට පත් කිරීමට රජය කටයුතු කරනවා.
ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පැමෙලි කෝක්-හැමිල්ටන් මහත්මිය, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් හා කාන්තා ව්‍යවසායකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.