ලෝක වකුගඩු දිනයට සමගාමීව ත්‍රීරෝද රථවල ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක්

ලෝක වකුගඩු දිනයට සමගාමීව ත්‍රීරෝද රථවල ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක්
  • SocialShare:

මාර්තු මස 13 වන බ්‍රස්පතින්දාට යෙදෙන ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දියත් කර ඇත.

ඒ යටතේ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ත්‍රීරෝද රථවල ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ඊයේ (11) පස්වරුවේ පැවැත්විණි.

ත්‍රීරෝද රථවල ස්ටිකර් ඇලවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා, රජයක් ලෙස අප බලාපොරොත්තුව මෙරට වකුගඩු රෝග අවම කර ගැනීම මෙන්ම බෝ නොවන රෝග හදුනා ගැනීම මෙන්ම පාලනය කිරීමත්, රෝග පවතින ප්‍රදේශවල රෝගය මුලින්ම හදුනාගෙන එය පාලනය කිරීම  වැදගත් වන බව අවධාරණය කර සිටියේ ය.

එමෙන්ම වකුගඩු බද්ධ කිරීම සහ අනෙකුත් ප්‍රතිකාරයන් සදහා විශාල මුදලක් වාර්ෂිකව රජය වැය කරන බව ද, මෙරට වකුගඩු රෝග වලට ගොදුරු වනුයේ වයස අවුරුදු  30 සහ 70 වයස් කාණ්ඩයේ පසුවන ජනතාව වන බවත්, ඔවුන්ගේ හැකියාව, ශ්‍රමය රටට අහිමිවීම මිලකල නොහැකි පාඩුවක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

ලෝක වකුගඩු දිනය සෑම වර්ෂයකම මාර්තු මස දෙවන බ්‍රහස්පතින්දා දින සමරනු ලබයි. මෙවර (2025 වර්ෂයේ) එම දිනය මාර්තු මස 13 වන බ්‍රස්පතින්දා දිනට යෙදී ඇත. “දැනුවත් වෙමු, කලින් හදුනාගනිමු, වකුගඩු සුරකිමු” තේමා කරගනිමින් මෙම වර්ෂයේ ලෝක වකුගඩු දිනය සමරනු ලබයි.

ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද 10% පමණ දිගුකාලීන වකුගඩු රෝගයෙන් පෙළෙන බවත්, 2023 වර්ෂයේ දත්ත සලකා බලන විට දිගුකාලීන වකුගඩු රෝගය ආශ්‍රිත රෝහල් ගතවීම් 213,448 ක්  සහ මරණ 1626 ක් වාර්තා වී ඇති බවත්, ආසන්න වශයෙන් දිනකට මරණ 5 පමණ සිදුවී තිබෙන බව ද ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකයේ සෞඛ්‍ය දත්ත පෙන්වා දෙයි.

2023 - 2024 වර්ෂවල දී රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර ලබා ගන්නා ලද රෝගීන්ගේ ප්‍රමාණය 6582 ක් වන අතර 2023 - 2024 වර්ෂවල දී පරිතාන රුධිර කාන්දු කරණ  ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් ප්‍රමාණය 1000 ක් වේ. එමෙන් ම වකුගඩු බද්ධකල රෝගීන් ප්‍රමාණය 300 ක් පමණ වේ.

වැඩිම වකුගඩු රෝගීන් ප්‍රමාණයක් උතුරු මැද පළාතෙන් වාර්තා වන බව ද පොලොන්නරුව සහ මාලිගාවත්ත ප්‍රදේශවල විශේෂිත වෘක්කවේද ප්‍රතිකාර රෝහල් දෙකක් ස්ථාපිත කර ඇති බව ද, මේ වන විට රජයේ රෝහල් 81 ක වකුගඩු රෝග සායන පවත්වන බව ද, රජයේ රෝහල් ගණන 75 කි.

වකුගඩු සම්පූර්ණයෙන් අකර්මන්‍ය වුවහොත් රුධිර කාන්දු පෙරණය, පරිතාන කාන්දුකරණය, වකුගඩු බද්ධ කිරීම,රෝග ලක්ෂණ වලට පමනක් ප්‍රතිකාර කිරීම සිදුකල යුතු බව ද ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය සදහන් කරයි.

ලෝක වකුගඩු දිනයට සමගාමීව මාධ්‍ය දැනුවත්කිරීමේ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ පැවති අතර ඉහත කරුණු එහිදී අනාවරණය විය.

ලෝක වකුගඩු දිනය ප්‍රථම වරට  2006 වර්ෂයේදී රටවල් 66 ක එකමුතුවෙන් සමරනු ලැබීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය විෂයභාර අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා ගුණරත්න, එම ඒකකයේ ප්‍රජි විශේෂඥ වෛද්‍ය නදීකා පෙරේරා යන මහත්මීන් ද, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්වූහ.

 

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.