බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පිරිසක් පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.
එහි දී බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල මූලික රෝහලක් බවට පත්කර සංවර්ධන කිරීමට පවතින විභවතාවයන් පෙන්වා දෙමින් පසුගිය ආණ්ඩු 03 ක් යටතේ සිදු කර ගත නොහැකි වූ එම කටයුත්ත කඩිනමින් ඉටු කර දෙන ලෙස මෙම පිරිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.
වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පිරිස මෙහි දී කියා සිටියේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල මුලික රෝහලක් ලෙස උසස් කිරීම අරමුණු කර ගනිමින් පසුගිය කාලය පුරා සාකච්ඡා සහ ඉල්ලීම් විශාල ප්‍රමාණයක් සිදු කළ බවයි. නමුත් එම කටයුත්ත අසාර්ථක වූ බව ද පැවසී ය. නමුත් නව රජයේ ආර්ථීක උපාය මාර්ගයක් වන සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළ යටතේ සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගෙන ඇති සංචාරක කලාපයක සෞඛ්‍ය පහසුකම් ලබාදීම සඳහා රෝහල් පද්ධතිය වැඩිදියුණු කිරිම ප්‍රමුඛ කටයුත්තක් සේ සලකා රෝහල මුලික රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන මෙන් මෙහි දී ඉල්ලා සිටියහ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී කියා සිටියේ අවශ්‍යතාවය පැහැදිලි නමුත් මුදල් පිළිබද ගැටළු වන බවත්, රජය අවශ්‍යතාවය දැඩිව සලකා බැලීමෙන් තොරව සහ සැලසුම් සහගත වැඩපිළිවෙලකින් පරිභාහිරව රෝහල් සංවර්ධනයට කටයුතු නොකරන බවයි. මුලික රෝහලක් දක්වා රෝහල ගෙනයනවා නම් නිසි සැලැස්මකට යටත් ව ඒ සදහා කටුයුතු කළ යුතු බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ පළාත් සභාවේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සක්‍යතා අධ්‍යනයක් සිදු කර ඊට අදාළ වාර්තා අධ්‍යයනයෙන් පසු ඉදිරි සැලසුමකින් යුතුව බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල මූලික රෝහලක් බවට පත්කිරීම පිළිබඳව මුලික තීන්දුවක් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව ද පැවසී ය.
සාකච්ඡාවෙන් අනතුරුව වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ පැවැති සාකච්ඡාවේ දී ඉතා සතුටුදායක තීන්දුවක් තමන් ඇතුළු පිරිස වෙත ලැබුණ බවයි. රෝහල මුලික රෝහලක් බවට පත් කිරීමට අදාළව නිවැරදි තීන්දුවක් ගැනීම සදහා මූලික සක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට තීන්දුවක් ගත් බවත්, සක්‍යතා අධ්‍යයනයෙන් පසු මුලික තීන්දුව ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා එකඟ වූ බව ද පැවසී ය. ඉහත කටයුතු සදහා මෙම මස ඇතුළත අමාත්‍යාංශයේ නිලධාරී කණ්ඩායමක් රෝහලට පැමිණෙන බවත්, පළාත් සභාවේ නිලධාරී කණ්ඩායම ද එම ස්ථානයට සම්බන්ධ කර බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල මුලික රෝහලක් දක්වා ගෙනයාමට ඒකාබද්ධව වාර්තාවක් සකස් කෙරෙන බවද පැවසී ය. දියතලාව මුලික රෝහල ද සංවර්ධනය කෙරෙන අතරතුර ම “බී” මට්ටමේ මුලික රෝහලක් ලෙස බණ්ඩාරවෙල රෝහල ද වෙනම සංවර්ධනය විය යුතුයි යන ඉල්ලීම අමාත්‍යවරයාට ඉදිරිපත් කළ බව ද ඊට එකඟතාවයන් පළ වූ බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.
අක්කර 26 ක භූමි ප්‍රමාණයකින් යුතු බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල මුලික රෝහලක් බවට පත්වුවහොත් බණ්ඩාරවෙල, ඇල්ල, හපුතලේ, හාලිඇල සහ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආසන්න වශයෙන් 150,000 – 200,000 අතර ජනතාවකට සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව පවතින බවත්, වතු ජනතාව ද විශාල ප්‍රමාණයක් වන බවත් මෙම සාකච්ඡාවේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදි. බණ්ඩාරවෙල නගරයේ පාසල් 06 ක් සහ පෞද්ගලික විද්‍යාල 02 ක් සහ උපකාරක පන්ති රැසක් වන බව ද ඌව පළාතේ ප්‍රධාන අධ්‍යාපන කෙන්ද්‍රස්ථානය සහ වාණිජ නගරය බණ්ඩාරවෙල නගරය වන බව ද පෙන්වා දෙන ලදී. මේ වන විට රෝහල් පරිශ්‍රයේ 05 මහල් ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකර ප්‍රයෝජනයට නොගෙන පවතින බව ද, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල “බී” කාණ්ඩයේ මුලික රෝහලක් ලෙස උසස් කිරීමට පූර්ණ අනුමැතිය ලැබී ඇති බව ද අනාවරණය විය.
මෙම අවස්ථාවට පූජ්‍ය මකුල්ඇල්ලේ නන්දසිරි නාහිමි, පූජ්‍ය කහත්තේවෙල සිරිනිවාස නාහිමි, පූජ්‍ය පොල්ගම්පොල ඉන්ද්‍රානන්ද නාහිමි, වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) වෛද්‍ය ශ්‍රිදරන්, අධ්‍යක්ෂ (සැලසුම්) විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ, ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ජේ. එම්. කපිල ජයසේකර, ඌව පළාතේ ප්‍රධාන ලේකම් එම්.එල්.ගම්මම්පිල, ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සැලසුම්) ආර්.එම් දයාරත්න, ලේකම් එච්.එම්.ඡේ හේරත්, බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහලේ රෝහල් කමිටු සාමාජිකයින්, ඇල්ල සහ බණ්ඩාරවෙල වෙළෙද සංගම් නියෝජනය කරමින් ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පිරිසක් එක්ව සිටියහ.