ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු රැසකට විසඳුම් ලබාදීමට පියවර

ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු රැසකට විසඳුම් ලබාදීමට පියවර
  • SocialShare:

ආයුර්වේද වෛද්‍ය සේවාවේ පවතින ගැටළු කිහිපයකට කඩිනමින් විසඳුම් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ආයුර්වේද වෛද්‍ය සේවා පනතක් ස්ථාපිත කිරීම, ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළ දේශීය වෛද්‍ය ක්‍රමය විධිමත් ව ස්ථාපිත කිරීම, ආයුර්වේද පනත හා ආයුර්වේද සංග්‍රහය නව සංශෝධනයකට ලක් කිරීම, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය සඳහා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීම, රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් හට රැකියා ලබාදීම, සෞඛ්‍ය චක්‍ර ලේඛනවලට අදාළව හිමි දීමනා ලබාගැනීම, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සංවිධාන ව්‍යුහය යථාවත් කිරීම ඇතුළු රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ ඉල්ලීම් කිහිපයක් පිළිබඳ ව මෙහි දී දීර්ඝව සාකච්ඡා විය.
මෙරට සෞඛ්‍ය සේවාව තුළ ජනතාවට සේවා සැපයීමේ දී බටහිර වෛද්‍ය සේවාව මෙන් ම දේශීය සහ ආයුර්වේද වෛද්‍ය සේවාව මගින් ද ඉමහත් සේවාවක් ලබාදෙන බව මෙහි දී පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සේවාවේ සියළු අංශ ඇතුළත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සදහා ද යෝජනා ඉදිරිපත් කරන ලෙස මෙහි දී ඉල්ලා සිටින ලදි. ආයුර්වේද පනත හා ආයුර්වේද සංග්‍රහය නව සංශෝධනයකට ලක් කිරීම සදහා විධිමත් කමිටුවක් පත් කිරීමේ වැදගත්කම ද මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා ගැටළු අවම කර ගනිමින් කටයුතු කිරීම සදහා යාන්ත්‍රණක් සකස් කිරීම සහ සංවිධාන ව්‍යුහය යථාවත් කර ගැනීමේ වැදගත්කම මෙහි දී අවධාරණය කළේ ය. එමෙන් ම මෙහි දී රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ඉල්ලීම් අතරින් කඩිනමින් විසඳුම් ලබාදිය හැකි ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට ද අමාත්‍යවරයා පියවර ගනු ලැබී ය.
රාජ්‍ය සේවාවේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් 2800 ක් පමණක් සේවය කරන බව මෙහි දී අනාවරණය වු අතර, රාජ්‍ය සේවය තුළ නිරත මෙම වෛද්‍ය නිලධාරීන්ගේ ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා මෙම අවස්ථාවට සහභාගිව සිටි ආයුර්වේද කොමසාරිස් ආචාර්ය වෛද්‍ය ධම්මික ගුණවර්ධන මහතා ඇතුළු ආයුර්වේද දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහභාගි වූ නිලධාරීන්ගේ අදහස් සහ යෝජනා ද විමසා බලන ලදි.
එමෙන්ම දේශීය ආයුර්වේද වෛද්‍ය සේවාව ශක්තිමත් කරමින්, ගැටළු අවම කරමින් ගුණාත්මක දේශීය හා ආයුර්වේද වෛද්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට ඉදිරි සැලසුම් සකස් කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
සිය වෘත්තීය ගැටළු පිළිබඳව අවධානය යොමු කිරීම පිළිබඳව රජයේ අයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට සිය ස්තුතිය ප්‍රකාශ කරන ලදි.
මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ආචාර්ය වෛද්‍ය ධම්මික ගුණවර්ධන මහතා, රජයේ අයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ජී. හේවාගමගේ, ලේකම් වෛද්‍ය එස්.ඩී අජිත් උපශාන්ත, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.