නිදහස් සෞඛ්‍ය ‍ සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් ලෝක බැංකුවේ අඛණ්ඩ සහය

 නිදහස් සෞඛ්‍ය ‍ සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් ලෝක බැංකුවේ අඛණ්ඩ සහය
  • SocialShare:

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය උදෙසා ලෝක බැංකුව මගින් මෙතෙක් ලබා දුන් සහාය,ඉදිරියට ලබාදෙන දායකත්වය සහ සහ‌යෝගය සහ ප්‍රදානයන් පිළිබඳව සාකච්ඡාවක් , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා අතර පසුගියදා පැවැත්විණි.

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩ ව ලබාදීමට වත්මන් රජය ගෙන යනු ලබන විශේෂ වැඩපිළිවෙළ මෙන් ම මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට නව රජය ගෙනයන වීශේෂ වැඩපිළිවෙළ පිළිබඳව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී ලෝක බැංකු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා ඇතුළු නියෝජිතයින් දැනුවත් කළේ ය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීම, ද්විතීයික සහ තෘතීයික සෞඛ්‍ය සේවාවන් සපයන රෝහල්වල භෞතික සම්පත් සංවර්ධනය කිරීම, හඳුනාගත් ඉලක්කගත කණ්ඩායම්වල පෝෂණ මට්ටම ඉහළ නැංවීම සදහා විශේෂ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම, මාතෘ හා ළමා පෝෂණය සදහා විශේෂ ඉලක්කගත වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම, වැනි කරණු පිළිබදව දීර්ඝ ලෙස අවධානය යොමුකරමින් මෙහි දී සාකච්ඡා කෙරිණි.
පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ මෙන් ම ආර්ථික අර්බුදය හමුවේ ද මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ලෝක බැංකුව ලබා දුන් සහයෝගයට විශේෂ ස්තූතියක් ද සිදුකළ අමාත්‍යවරයා පෙර ලබා දුන් ආකාරයට ම මින් ඉදිරියටත් ලෝක බැංකුවේ දායකත්වය ලබාගන්නා බව අමාත්‍යවරයා ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා හමුවේ පැවසී ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ අදහස්වලට සවන්දුන් ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව විශේෂ ඇගයීමකට ලක් කරන ලදී. එම සේවාව ඉතා ගුණාත්මක,විශිෂ්ට අයුරින් අඩුපිරිවැයකින් ලබා දෙන උසස් ම සේවාවක් බව ද ඒ මහතා පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාවේ වත්මන් මෙන් ම අනාගත සෞඛ්‍ය අභියෝග ජය ගැනීම සඳහා මෙරටට ලබා දියහැකි සහාය පිළිබඳවත් අමාත්‍යවරයාගෙන් ලෝක බැංකු නියෝජිතවරයා මෙහි දී කරුණු විමසන ලදී.
මින් පෙර අවස්ථාවන්වලදී මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සංවර්ධනය සදහාත්, මානව සම්පත් සංවර්ධනය සදහාත් අවශ්‍ය සහය මෙන් ම විවිධ ප්‍රදානයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කර තිබෙන බව සිහිපත් කළ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා ඉදිරියටත් අවශ්‍ය සහය ලබා දෙන බව ද වැඩිඳුරටත් පැවසී ය.
ලෝක බැංකුවේ සහයෝගීතාවය මත මෙරට ජනතාවගේ ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනය උදෙසා පසුගිය සිව් වසරක කාලපරාසයක් තුළ ප්‍රාථමික, ප්‍රාදේශීය, සහ ග්‍රාමීය රෝහල් සහ සෞඛ්‍ය ආයතන මූලික කරගනිමින් ක්‍රියාත්මක වූ ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ ව්‍යපෘතිය පිළිබඳවත් මෙහි දී ලෝක බැංකු නියෝජිතයින් අමාත්‍යවරයාව දැනුවත් කිරීමට පියවර ගත් අතර වත්මන් රජය ක්‍රියාත්මක කිරීමට යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ සාර්ථක ව්‍යාපෘතියක් බවට පත්කර ගැනීමට මෙම ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ ව්‍යපෘතිය ඉවහල් වනු ඇතැයි ද ඔවුන් අමාත්‍යවරයා හමුවේ පැවසී ය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන වැඩසටහනේ ප්‍රධානී අයේෂා වයි. වව්ඩා (Ms,Ayesha Y. Vawda), මෙහෙයුම් නිලධාරී දීපිකා ආනන්ද් (Deepika Anand), ජේෂ්‍යඨ සෞඛ්‍ය ආර්ථික විද්‍යාඥ ඩි ඩොං (Di Dong) යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.