ත්‍රීපෝෂ සමාගම රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර

ත්‍රීපෝෂ සමාගම රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන කඳාන පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා (04) කඳාන පිහිටි ත්‍රීපෝෂ සමාගමේ වත්මන් තත්වය සහ එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ අදාළ සියලු නිලධාරීන් සමග මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

පැවැති රජයන් ජාතික වටිනාකමින් යුතු මෙම ත්‍රීපෝෂ නිෂ්පාදන ආයතනය සංවර්ධනය කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට විධිමත් සහ ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම මත එහි පූර්ණ ප්‍රතිලාභ ජනතාවට අහිමිවන තත්වයක් උදාවෙමින් පැවති අතර එම තත්ත්වය වෙනස් කර නැවත ත්‍රීපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපයන සක්‍රීය ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් තම රජය ක්‍රියාත්මක වන බව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම ත්‍රීපෝෂ නිෂ්පාදන ආයතනය ඈවර කිරීමට පසුගිය ආණ්ඩුව තීන්දු කර තිබූ බවයි.
ත්‍රිපෝෂ සමාගමේ අමුද්‍රව්‍ය ගබඩාව, පුර්ණ සහ අවසන් නිෂ්පාදන කටයුතු, යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකාරීත්වය සහ ඇසුරුම් කටයුතු, තත්ත්ව කළමනාකරණ කටයුතු මෙන්ම සමාගමේ නව නිෂ්පාදනයන් ද මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පරීක්ෂාවට ලක් කෙරිණ.
ත්‍රිපෝෂ සමාගමේ සභාපති ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සමග සාකච්ඡා කරමින් කර්මාන්ත ශාලාවේ මෙතෙක් ගමන් මඟ, වත්මන් මෙහෙයුම් කටයුතු, ඉදිරි සංවර්ධන කටයුතු මෙන්ම ත්‍රිපෝෂ නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීම, නව නිෂ්පාදන හඳුන්වාදීම හා ප්‍රවර්ධනය පිළිබඳව සහ කාර්ය මණ්ඩලයේ ගැටලු පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.
ඉදිරියේ දී ත්‍රීපෝෂ නිෂ්පාදන ආයතනයේ කටයුතු දියත් කිරීමේදී, සමාගමට අවශ්‍ය බඩඉරිගු හා සෝයා සපයන මෙරට ගොවි නිෂ්පාදකයන්, ව්‍යවසායකයන් දිරිගන්වමින් ඒකාබද්ධ කරගනිමින් ඔවුන්ගේ නිෂ්පාදන ත්‍රීපෝෂ සමාගම මිලදී ගන්නා අඛණ්ඩ ක්‍රමවේදයක් සැකසිය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මේ වනවිට සමාගමේ සැපයුම් ජාලය බිඳවැටි ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්ව ත්‍රීපෝෂ සමාගමේ නිෂ්පාදනයන් බෙදාහැරීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම වෙනුවට එය රටේ ජනතාවගේ උන්නතිය සහ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ලාභ ලබන ආයතනයක් බවට පත් කරමින් විධිමත් සංවර්ධන වැඩපිළිවෙළක් යටතේ රජය සතු දියුණු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ 2023 විගණිත මුල්‍ය වර්ෂය දක්වා වු සියයට 30 ඉක්ම වු මිලියන 165 ක් ලාභාංශ අතරින් 2024.01.04 දිනට වන ලාභාංශ මුදල ලෙස රුපියල් මිලියන 11 ක් මුදල් සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙත ප්‍රදානය කිරීම ද මෙහිදි සිදු විය. ඊට අදාළ චෙක්පත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එන්.ඡේ පතිරණ මහත්මිය වෙත ප්‍රදානය කරන ලදි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න, ත්‍රීපෝෂ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය,අමාත්‍යාංශයේ අදාල නිළධාරීන් පිරිසක් සහ සමාගමේ කාර්යය මණ්ඩල නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.