මොරටුව වෛද්‍ය සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව ලබාදීමට කඩිනම් සැලසුම්

මොරටුව වෛද්‍ය සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව ලබාදීමට කඩිනම් සැලසුම්

මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයේ මේ විට වර්ෂ හතරකට අදාළ වෛද්‍ය සිසුන් 400කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතුවල නිරත වන අතර එහි සිව්වන වසරේ අධ්‍යයන කටයුතු සිදුකරන වෛද්‍ය සිසුන් මෙම වසර මැද භාගයේ දී අනිවාර්යෙන්ම මහාචාර්ය පුහුණුව සඳහා යොමුකළ යුතු බව අනාවරණය වී ඇතත් ඒ සඳහා මෙතෙක් නිශ්චිත සැලසුම් සම්පූර්ණ නොවීම ගැටලුවක්ව පැවතුණි.

මේ පිළිබදව දැනුවත්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම, මහා භාණ්ඩාගාරය, මොරටුව විශ්වවිද්‍යාලය සහ මෙයට සම්බන්ධ සෙසු ආයතන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හදිසි සාකච්ඡාවක් කැඳවු අතර එම සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව ලබාදීම සඳහා කලුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළ මහාචාර්ය ඒකයක් ස්ථාපිත කිරීමටත්, ඊට අවශ්‍ය සංවර්ධන කටයුතු රෝහල තුළ සහ කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය කේන්ද්‍රකර ගනිමින් සිදුකිරීමටත් තීරණය කරන ලදී.
ඒ අනුව එම වෛද්‍ය සිසුන්ට අවශ්‍ය පුහුණවීම් විධිමත් අයුරින් ලබාදීමට කලුතර ප්‍රධාන කේන්ද්‍රස්ථාන ද්විත්වය වන කලුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ සහ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ වත්මන් තත්ත්වයත්, මානව හා භෞතික සම්පත් අවශ්‍යතා පිළිබඳවත්, පවතින අනෙකුත් ගැටලු පිළිබඳවත් සොයා බලා එයට සාධනීය විසඳුම් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍යවරයා අවශ්‍යතාවයන්ට යෝග්‍ය පරිදි භෞතික හා මානව සම්පත් වර්ධනය කිරීමේ පියවරයන්, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ප්‍රවාහන,නේවාසික හා අනෙකුත් අවශ්‍යතා සංවර්ධනය කිරීම පිළිබදව දැඩි අවධානය යොමු කරමින් අවශ්‍ය පියවර ගැනීම සදහා නිලධාරීන්ට උපදෙස් ලබා දීමද සිදු කළේය.
මීට අමතරව වෛද්‍ය සිසුන්ට අවශ්‍ය දැනුම වර්ධනය කර ගැනීමේ අරමුණින් කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළ ස්ථාපිත කර ඇති පුස්තකාලය ඩිජිටල්කරණය කිරීමටත්, දැනුම වර්ධනය කර ගැනීම සදහා විදේශ රවල්වල ඇති පුස්තකාල හා මෙම පුස්තකාලය අන්තර්ජාලය අනුසාරයෙන් සම්බන්ධ කිරිමට පියවර ගන්නා ලෙසත්, දුරස්ථ අධ්‍යපන ඒ්කකයද වර්තමානයට සරිලන පරිදි නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් පුහුණු කාලය තුළදී සිසුන්ට මෙන්ම වෘත්තිකයන්ට උපරිම දැනුමක් ලබා ගැනීමට හැකිවන අයුරින් සංවර්ධනය කිරීමට අවශ්‍ය ඉදිරි පියවරයන් ගන්නා ලෙසටත් කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කලුබෝවිල මහතා ඇතුළු නිලධාරීන්ට අමාත්‍යනවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.
එමෙන්ම සෞඛ්‍ය සේවාවේ අනෙකුත් වෘත්තීන්වලට අයත් සෞඛ්‍ය වෘත්තීකයන්ද පුහුණු කරන මෙරට ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයක් වන නාගොඩ සෞඛ්‍ය විද්‍යායතනය සියලු දෙනාටම ගුණාත්මක පුහුණුවක් ලබාදීමට අවශ්‍ය මානව හා භෞතික සම්පත් සංවර්ධනයේ වැදගත්කමද මෙහිදී පෙන්වා දී තිබේ.
කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළින් වසරකට සෞඛ්‍ය වෘත්තියන් 1,000කට අධික පිරිසක් පුහුණුකර මෙරට සෞඛ්‍ය සේවාවට එක් කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන්, සැලසුම් කඩිනමින් සකස් කරන ලෙසටද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
මෙහිදී කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළ ක්‍රියාත්මක සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සියල්ලද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
මෙම නිරීක්ෂණ අවස්ථාවට කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නයනජිත් කොමසාරු, පරිපාලන නිලධාරී චමින්ද ලියනගේ යන මහත්වරුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියන්, ඇතුලු සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසක් සහභාගි වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.