ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් සත්ත්ව ගොවිපළකට රුපියල් ලක්ෂ 2ක දිරිගැන්වීමේ දිමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි, සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.කේ.සරත් මහතා පවසයි.
ඊයේ(08) ගොවිජන මන්දිරයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ආපදා තත්ත්වයෙන් හානියට පත් පශු වෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි කර ඇති සත්ත්ව ගොවිපළවල් සඳහා මෙම දීමනාව ලබා ගැනීමට හැකි බව හෙතෙම පැවසීය.
ගොවිපළවල ඇතිකළ සතුන් මිය යාම , ගොවීන් නඩත්තු කළ තෘණ වගාවට සිදු වූ හානි සහ සත්ත්ව ගාල්වලට සිදු වී ඇති පූර්ණ හෝ අර්ධ හානිවලට මෙම මුදල ලබා දෙන බවද ඒ මහතා සඳහන් කළේය.
අයදුම් පත්‍රය ලඟම ඇති පශු වෛද්‍ය කාර්යාලයෙන් හෝ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලින් ලබා ගත හැකි බවත්, එය හැකි ඉක්මනින් ලඟම ඇති පශු වෛද්‍ය කාර්යාලයට භාර දීමට කටයුතු කරන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම දීමනාව කිරි නිෂ්පාදන ආයතනයට හෝ එහි උපකරණවලට සිදු වු හානිවලටද උපරිම සීමාවට යටත්ව ගණනය කිරීමෙන් ලබා දෙන බවද පැවසුවේය.
අයදුම් පත්‍ර ලබා ගැනීමට අපහසු නම් ක්ෂණික දුරකත අංක 1918 හෝ පශු වෛද්‍ය නිලධාරි මාලක මහතා (071- 4145242 ) සම්බන්ධ කර ගන්නා ලෙසද පැවසිය.
පසුගිය දිනවල පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා කිරි ගවයින් 30,000ක් එළුවන් 15,000ක් මිය ගොස් ඇති බවත් , වැඩිම හානිය සිදු වී ඇත්තේ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයට බවද ඒ මහතා පැවසුවේය.
තෘණ බිම් වැඩි වශයෙන් විනාශයට පත් වීම නිසා සතුන්ගේ පෝෂණ තත්ත්වයට එය බලපාන බවත්, සතුන් විවිධ වසන්ගත රෝගී තත්ත්වවලට පත්වීමේ අවදානමක් ඇතැයිද පැවසීය.
සතුන්ගේ යම් රෝගී තත්ත්වයක් පෙන්නුම් කරනවා නම් වහාම පශු වෛද්‍ය කාර්යාල වෙත ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසදඒ මහතා ඉල්ලා සිටියේය.
ආපදා තත්ත්වය හේතුවෙන් කුකුල් කර්මාන්තයට යම් බලපෑමක් එල්ල වී ඇති නමුත්, ඒ හේතුවෙන් කුකුල් මස් හිඟයක් හෝ බිත්තර මිල වැඩිවීමක් සිදු නොවන බවත් වැඩි මිලට කිසියම් නිෂ්පාදයෙක් නිෂ්පාදන අලෙවි කළහොත් ඒ සම්බනධයෙන් රජය මැදිහත් වන බවද අවධාරණය කළේය.


