අලුත් අවුරුදු නැකැත් සම්පාදනයට මාර්තු 16 දා විශේෂ සාකච්ඡාවක්

අලුත් අවුරුදු නැකැත් සම්පාදනයට මාර්තු 16 දා විශේෂ සාකච්ඡාවක්
  • SocialShare:

2026 වර්ෂයේ සිංහල හා දමිළ අලුත් අවුරුදු නැකැත් සම්පාදනය කිරීම සම්බන්ධයෙන්, එළඹෙන මාර්තු 16 වැනිදා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම වර්ෂයේ අලුත් අවුරුදු නැකැත් සම්පාදනය සඳහා කණ්ඩායම් දෙකක් යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, ඒ පිළිබඳ පොදු එකඟතාවයකට පැමිණීම සඳහා අමාත්‍යාංශය විසින් එම කණ්ඩායම් සමඟ අවස්ථා 04කදී සාකච්ඡා පවත්වා ඇති බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එසේම, අස්පර්ශනීය කලා උරුම හා සාම්ප්‍රදායික කලා අනු මණ්ඩලයේ අදහස් ද ලබාගෙන ඇති නමුත් මේ දක්වා අලුත් අවුරුදු නැකැත් සම්බන්ධයෙන් පොදු එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

අලුත් අවුරුදු චාරිත්‍ර ඇතුළු රටේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් අවශ්‍ය පියවර නිරන්තරයෙන් ගනු ලබන බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.