“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සඳහා ප්ලාස්ටික්වලින් තොර පරිසරයක් අවශ්‍යයි – අමාත්‍ය චන්දන අබේරත්න

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සඳහා ප්ලාස්ටික්වලින් තොර පරිසරයක් අවශ්‍යයි – අමාත්‍ය චන්දන අබේරත්න
  • SocialShare:

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන අරමුණ යථාර්ථයක් කිරීමට ප්ලාස්ටික් උවදුරුවලින් තොර සුන්දර පරිසරයක් අත්‍යවශ්‍ය බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.

මෙය හුදු සටන් පාඨයක් නොවී ආයතනික සම්බන්ධීකරණය, නිෂ්පාදකයින්ගේ කැපවීම සහ මහජනතාවගේ හැසිරීම් රටාවේ වෙනසක් සමඟ සිදුවිය යුතු “සිස්ටම් චේන්ජ්” (System Change) එකක් විය යුතු බවද ඔහු සඳහන් කළේය.

විසතීරණ නිෂ්පාදක වගකීම් (Extended Producer Responsibility – EPR) සහ නැවත එකතු කිරීමේ (Collect-back) උපායමාර්ගික ආකෘතිය පිළිබඳව කොළඹදී පැවති විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ දැවැන්ත පරිසර ගැටලුවක් බවට පත්ව ඇති 2D පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන සහ නිෂ්පාදකයින් ඒකාබද්ධව මෙම ආකෘතිය සකසා ඇති අතර එය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඉදිරියේදී දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිතය.

අමාත්‍යවරයා පැවසුවේ පසුගිය දශක කිහිපය තුළ ප්ලාස්ටික් භාවිතය වැඩිවීම හේතුවෙන් විශාල පාරිසරික සහ සෞඛ්‍ය අර්බුදයක් උද්ගත වී ඇති බවයි. වාර්ෂිකව මෙට්‍රික් ටොන් මිලියන 1.6කට අධික ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජනනය වන අතර දිනකට මෙට්‍රික් ටොන් 938ක් පමණ ඉවත් වන බවද ඔහු සඳහන් කළේය.

ඒ අතරින් ප්‍රතිචක්‍රීකරණයට ලක් වන්නේ සමස්ත අපද්‍රව්‍යවලින් 4%ක් වැනි සුළු ප්‍රමාණයක් පමණක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ පරිසර ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රැසක් සහභාගී වූහ.