පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර ලබා දීම මඟින් අධ්‍යාපනය පහසුකරණය කිරීමේ අරමුණින් තෝරාගත් පාසල් 1,000ක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අරමුදල් භාවිත කරමින් සුහුරු පුවරු සහ අනෙකුත් උපකරණ ලබාදීමට අදාළව ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
මේ සම්බන්ධයෙන් ඉදිරිපත්කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ යෝජනා කර ඇත්තේ චීන රජය විසින් යෝජිත පාසල් ඩිජිටල්කරණ ව්‍යාපෘතියට සමපාතීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි. චීන රජයේ එම ව්‍යාපෘතිය මඟින් මධ්‍යගත පාලන මැදිරියක් සහ චිත්‍රාගාරයක් ඉදිකිරීමටත් අමතර සුහුරු පුවරු 500ක් ලබා දීමටත් යෝජනා වී ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘති දෙක ඒකාබද්ධ කිරීම මඟින් පාසල් 1,500ක් සඳහා ජාලගත සුහුරු පන්ති කාමර ඇති කිරීමට යෝජනා වී ඇත.
මෙම ව්‍යාපෘති දෙක ඒකාබද්ධ කිරීම සඳහා චීන රජය විසින් ලබා දීමට යෝජිත සුහුරු පුවරුවල පිරිවිතරයන්ට සමාන වන අයුරින්ම ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගනු ලබන සුහුරු පුවරු ද මිලදී ගත යුතු බවට ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් තීරණය වී ඇත.
2024 මැයි 14 දිනැති ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගැනීමට යෝජිත වූ සුහුරු පුවරු 1,000 මිලදී ගැනීමේ කටයුතු 2024 ජූලි මාසයේදී ආරම්භ කර ඇත. නමුත් එම මිලදී ගැනීමේ කටයුතු ආරම්භ වන විට ද චීන රජය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිය සාකච්ඡා මට්ටමේ පැවැති ඇති අතර ඔවුන් විසින් ලබා දීමට යෝජිත සුහුරු පුවරුවල පිරිවිතරයන් සම්බන්ධයෙන් කිසිදු නිල එකඟතාවයකට එළඹ නොතිබුණු බව නිරීක්ෂණය වේ.
කෙසේ වෙතත් පැහැදිළි නොවන මූලාශ්‍ර ඔස්සේ ලබාගත් සහ චීන රජය විසින් නිල වශයෙන් තහවුරු නොකළ පිරිවිතරයන් උපයෝගි කරගනිමින් විවෘත මිල ගණන් කැඳවීමකින් තොරව එක් සැපයුම්කරුවෙක් වෙතින් මිල ගණන් ලබා ගෙන ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා අදාළ මිලදී ගැනීම සිදු කර ඇත. ඒ සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් වැයකර ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 1.7කි. ඊට අමතරව සේවා හා සවිකිරීමේ ගාස්තු ලෙස රාජ්‍ය විවිධ නීතිගතසංස්ථාව වෙත රුපියල් මිලියන 430ක පමණ මුදලක් තවදුරටත් ගෙවීමට ගිවිසුම්ගතව ඇත.
ඉහත මිලදී ගැනීම මෙවැනි ඉහළ අගයකින් යුත් මිලදී ගැනීමක් සිදු කිරීමේදී අනුගමය කරනු ලබන ක්‍රියාවලිය හා සංසන්දනය කරන විට අස්වාභාවික ලෙස වේගවත්ව සිදුකර ඇති බව නිරීක්ෂණය වේ. එනම් 2024 ජූලි 05 වන දින මිල ගණන් කැඳවා එම මිල ගණන් 2024 ජූලි 15 වන දින විවෘත කර 2024 ජූලි 16 වන විට තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් වාර්තාව ඉදිරිපත් කිරීම ද අවසන් කර ඇත. අදාළ වාර්තාව අමාත්‍ය මණ්ඩලය පත්කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් 2024 ජුලි 17 සහ 18 යන දිනයන්හි සලකා බැලීමෙන් පසු එදිනම සිය නිර්දේශ ලබා දී ඇත. ඉහත නිර්දේශයන් 2024 ජූලි 23 දිනැතිව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අනුමැතිය 2024 ජූලි 30 දින ලැබීමෙන් පසුව මිලදී ගැනීමේ ඇණවුම 2024 අගෝස්තු 05 දින සැපයුම්කරු වෙත නිකුත් කර ඇත.
මෙම මිලදී ගැනීමේදී සුහුරු පුවරු 1,000 ක් සඳහා CIF අගය වන ඇ.ඩො. 3,135,392.50ක වටිනාකමක් HUAWEI ආයතනයේ නියෝජිතයා ලෙස දැක්වෙන Intelligent Express Limited, Hongkong වෙත ණයවර ලිපියක් විවෘත කිරීම මඟින් ගෙවා ඇති අතර, HUAWEI ආයතනය චීන ආධාර ව්‍යාපෘතිය යටතේ සුහුරු පුවරු සපයන නිශ්පාදකයා ලෙස අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ දක්වා තිබුණ ද මේ දක්වා එවැනි සැපයුම්කරුවෙකු මෙම ව්‍යාපෘතිය සඳහා තෝරා ගැනීම සම්බන්ධයෙන් චීන රජය සනාථ කර නොමැත.
ඉහත ඇණවුම පරිදි අදාළ සුහුරු පුවරු සහ අනෙකුත් උපකරණ 2024 ඔක්තෝම්බර් මාසයේදී පමණ අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇති අතර, ඒවා දැනට පත්තල ගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයේ ගබඩා කර ඇත. ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගනු ලැබූ ඉහතසුහුරු පුවරු මිලදී ගැනීම අවසන් කර තිබුණ ද චීන රජය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අදාළ ව්‍යාපෘතියේ කොටස මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති අතර, ඒ සඳහා අවසන් එකඟතාවයන්ට ද එළඹ නොමැත.
චීන රජය විසින් ලබා දීමට යෝජිත වූ ජාලගත කිරීමේ පහසුකම සහ මධ්‍යගත පද්ධතිය පිළිබඳව අවසන් එකඟතාවයට එළඹීමට පෙර මෙම සුහුරු පුවරු මිලදී ගැනීම හේතුවෙන් සිදු වී ඇත්තේ අපේක්ෂා කළ කාර්යයට කිසිසේත්ම එම උපකරණ යොදා ගැනීමට නොහැකි වීමයි. දැනට ද සාකච්ඡා මට්ටමේ පවතින චීන ආධාර ව්‍යාපෘතිය මෙම වසර අවසාන වන තෙක් වත් කාලය ගතවන බව අපේක්ෂා කළ හැකිය. එසේම ඒ සඳහා තෝරාගනු ලබන සැපයුම්කරු පිළිබඳව කිසිදු තීරණයක් මෙතෙක් නිල වශයෙන් දක්වා නොමැත.
මෙම තත්ත්වය මත දැනට ගබඩාව වෙත ලැබී ඇති මෙම සුහුරු පුවරු 1,000 සහ අනෙකුත් උපකරණ පාසල් වෙත බෙදා හැරීම සිදු කරන්නේ නම් එය භාවිත කළ යුතු ආකාරය පිළිබඳව නිශ්චිත උපදෙස් විදුහල්පතිවරයාට ලබා දිය යුතු අතර, චීන ආධාර මත ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක නොවීම තුළින් මෙම උපකරණ සවි කිරීම සහ භාවිත කළ යුතු ආකාරය පිළිබඳ නිශ්චිත උපදෙස් ලබා දීමට නොහැකි වී ඇත.
මෙම අවස්ථාවේදී අදාළ සුහුරු පුවරු ජාල ගත කිරීම සිදු කළ නොහැකි වන හෙයින් ඒවා භාවිත කළ හැකි වන්නේ තනි පන්ති කාමර වශයෙන් පමණි. එමඟින් මෙම ව්‍යාපෘතියේ අරමුණ කිසිසේත් ඉටු නොවන අතර, මේ දක්වා කර ඇති රුපියල් බිලියන 1.7ක අයෝජනය ඌන උපයෝජනයක් ලෙස දැකිය හැකිය.
මෙම මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් හෝ ක්‍රම වේදයේ අක්‍රමිකතාවයන් සිදු වී ඇති ද යන්න සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. එසේම, මේ සම්බන්ධයෙන් දැනට චීන රජය සමඟ ද සාකච්ඡා කරනු ලබන අතර, හැකි ඉක්මනින් චීන රජය වෙතින් යෝජිත පහසුකම ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.