දීර්ඝ කාලයක් මෙරට රාජ්‍ය පාලනයේ ප්‍රමාණවත් අවධානයක් නොලැබූ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පසුගිය වර්ෂයේදී සුවිශාල ප්‍රගතියක් අත්කර ගත් බව වත්මන් තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.
මහා භාණ්ඩාගාරය විසින් 2025 වර්ෂයට අදාළව නියම කර තිබූ ආදායම් ඉලක්කය ඉක්මවා, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 13,100ක ආදායමක් උපයා ගැනීමට සමත් වූ බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම පසුගිය වර්ෂය තුළදී තැපැල් සේවාවට අදාළව විවිධ වෘත්තීන් සඳහා නව බඳවා ගැනීම් හා ස්ථීර කිරීම් රැසක් සිදු කළ බවත්, නව තැපැල් කාර්යාල සඳහා මුල්ගල් තැබීම් හා විවෘත කිරීම් බොහෝමයක් සිදු වූ බවත් තැපැල්පතිවරයා පැවසීය.
ඒ අනුව 2025 ජුනි මාසයේදී ශ්‍රී ලංකා තැපැල් සේවයේ උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378 දෙනෙකුට ස්ථීර පත්වීම් ලබා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ අතර, එය 2020 වර්ෂයෙන් පසුව සිදු වූ පළමු උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ ස්ථීර කිරීම බවද සඳහන් කෙරේ.
2022 වර්ෂයෙන් පසු තැපැල් සහයකවරුන් 1000 දෙනෙකුගේ පත්වීම් ස්ථීර කිරීම 2025 සැප්තැම්බර් මාසයේදී සිදු කළ බවත්, විවෘත පදනම යටතේ තැපැල් සේවා නිලධාරීන් 600 දෙනෙකු බඳවා ගැනීම 2026 පෙබරවාරි මාසයේදී සිදු කිරීමට නියමිත බවත් තැපැල්පතිවරයා පැවසීය.
ඊට අමතරව 2018 වර්ෂයෙන් පසු ප්‍රථම වතාවට තැපැල් රියදුරු (විවෘත) තනතුරු 40ක් සඳහා 2025 නොවැම්බර් මාසයේදී පත්වීම් ලබා දී ඇති බවද ඔහු සඳහන් කළේය.
විධිමත් හා කාර්යක්ෂම තැපැල් සේවාවක් ජනතාවට ලබා දීමේ අරමුණින් 2025 වර්ෂයේදී දෙපාර්තමේන්තුවට පරිගණක 225ක්, ටැබ් පරිගණක 1500ක්, මුද්‍රණ යන්ත්‍ර 500ක් සහ ලේසර් මුද්‍රණ යන්ත්‍ර 32ක් මිලදී ගත් බවද රුවන් සත්කුමාර මහතා පැවසීය.
තවද ප්‍රවාහන පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් නව ලොරි රථ 10ක්, කැබ් රථ 20ක් තැපැල් ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිත අතර, QSF අරමුදල යටතේ ලැබුණු ඩොලර් 500,000ක මුදලින් විද්‍යුත් කාගෝ ත්‍රීරෝද රථ 20ක් සහ විද්‍යුත් යතුරුපැදි 165ක් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇති බවද පැවසීය.
USPS ප්‍රදානයක් ලෙස ලැබුණු ඩොලර් 100,000ක මුදලින් විද්‍යුත් කාගෝ ත්‍රීරෝද රථ 15ක් මිලදී ගැනීමට නියමිත බවත්, 2018 වර්ෂයෙන් පසු දෙපාර්තමේන්තුවට වාහන මිලදී ගැනීමක් සිදු නොවූ බවත් තැපැල්පතිවරයා සඳහන් කළේය.
යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 2025 වර්ෂය ආරම්භයේදී රුපියල් මිලියන 600ක් රජය වෙන් කර ඇති අතර, ඒ අනුව දඹුල්ල ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඇතුළු තැපැල් කාර්යාල 14ක ඉදිකිරීම් ආරම්භ කර ඇත.
මීට අමතරව පොලොන්නරුව නව තැපැල් කාර්යාලය ජනතා අයිතියට පත් කර ඇති අතර, තැපැල් මූලස්ථානය, මධ්‍යම තැපැල් හුවමාරුව, පොලොන්නරුව හා මඩකලපුව තැපැල් සංකීර්ණවල සූර්ය පැනල සවි කිරීම ද සිදු කර ඇති බව තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


