2026 ජගත් පරිසර දිනයට සමගාමීව තවත් වනාන්තර 05ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කරයි.
පරිසර අමාත්‍යවරයා මේ බව පැවසුවේ වනාන්තර පහක් රක්ෂිත ලෙස නම් කිරිම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
වනස්පති වැඩසටහන එනම් වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කරමින් වනාන්තර ආරක්ෂා කිරීමේ වැඩසටහන 2025 වසරේ ජූලි 15 වනදා ගම්පහ බජ්ජම්ගොඩ රක්ෂිතයේදී ආරම්භ කළ බවද 2025 වසරේ ජගත් පරිසර දිනයට සමාන්තරව නව රජය වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කිරීම ආරම්භ කළ බවද අවධාරණය කළේය.
එහිදී අපේ රටේ දෙවන විශාලතම වනාන්තරය වන නිල්ගල වනාන්තරය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කළ බවද 2025 වසරේ පමණක් වනාන්තර 29ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළ බවද පැවසුවේය. මෙම වනාන්තර 29 තුළ දළ වශයෙන් හෙක්ටයාර 50,000ක් නැතහොත් අක්කර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් පළමු වසර තුළ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළ බවද සදහන් කළේය.
2026 වසරේ ජගත් වනාන්තර දිනයේදී තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කළ බවද එම රක්ෂිත අම්පාර, බදුල්ල, නුවරඑළිය හා මාතර ලෙස දිස්ත්‍රික්ක 04ක් නියෝජනය කළ බවද ඒ තුළ හෙක්ටයාර 12,989ක් පැවති බවද අවධාරණය කළේය.
මෙම වනාන්තර තුළ අපේ රටේ මධ්‍ය කඳුකරයේ අඩි 5000කට වඩා උස ප්‍රදේශවල පැවති රක්ෂිතද වුණු බව සිහිපත් කළ පරිසර අමාත්‍යවරයා පසුගිය අප්‍රේල් මාසයේ එ්හිපස්සිකෝ සාම පා ගමනට සමාන්තරව තවත් වනාන්තර 02ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කළ බවද පැවසුවේය.
මෙම රක්ෂිත ගොන්නට තවත් රක්ෂිත 05ක් එළැඹෙන ජගත් පරිසර දිනයේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එකතු කිරීමට තීරණය කර ඇතැයිද එම රක්ෂිත 05ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැයිද රිටිගල සංරක්ෂිතය, අලියා වැටුණු වැව රක්ෂිතය, බුලාගල රක්ෂිතය, කෝන්කැටියාව රක්ෂිතය සහ කල්ලංචි යන රක්ෂිත 05 ජුනි 05 එනම් ජගත් පරිසර දිනයේදී රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්වන බවද වැඩිදුරටත් පැවසුවේය.


