මෙවර ශ්‍රී පාද වන්දනා වාරය හෙට ( 04) දිනට යෙදෙන උඳුවප් පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වෙයි.
අද (03) උදෑසන පැල්මඩුල්ල ගල් පොත්තාවෙල රජමහාවිහාරයේ සිට සධාතුක කරඬු, සමන් දෙවි ප්‍රතිමාවහන්සේලා සහ පූජා භාණ්ඩ රැගත් පෙරහැර රත්නපුර ශ්‍රී පලාබද්දල, රත්නපුර අවිස්සාවේල්ල හැටන්, රත්නපුර කුරුවිට එරත්න, බලංගොඩ යන මාර්ග හතර ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරා වැඩම කරවීම ඇරඹිණි.
මෙයට අමතරව රත්නපුර, අවිස්සාවේල්ල හරහා හැටන් මාර්ගය ඔස්සේ තවත් පෙරහැරක් ද බලන්ගොඩ, මාරතැන්න, බගවන්තලාව දක්වා තවත් පෙරහැරක් ද පවත්වා සමන්දේව ප්‍රතිමා සහ දේවාභරණ වැඩම කිරීමටත් බුද්ධ පූජාව සහ දේව පූජා පැවැත්වීමටත් කටයුතු කර සිරිපා වන්දනා සමය ඇරඹීම සිදු කරන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ ප්‍රකාශ කළහ.
ශ්‍රී පාද වන්දනා සමය ලබන වසරේ මැඳින් පුන් පෝය දිනයෙන් නිමාවට පත්වීමට නියමිතයි.


