අනුරාධපුර ශික්ෂණ රෝහල මෙරට 04 වන ජාතික රෝහල බවට පත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විඡේමුණි මහතා පවසයි.
උතුරු මැද පළාතේ මෙරට විශාලතම දිස්ත්‍රික්කයේ පිහිටි මෙන්ම මෙරට තුන්වන විශාලතම තෘතීයික සත්කාර රෝහල වන අනුරාධපුර ශික්ෂණ රෝහලේ කළමනාකරණ රැස්වීම - 2026 (Management Committee Meeting) සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නිවාස ඉඩම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා (10) අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශ්‍රවණාගාරයේ දී පැවති අතර එහිදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
ඉදිරි වසර කිහිපය තුළ ලොකුම වැඩබිම ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහල පත්වන බවත්, රෝහලේ නාම පුවරුව වෙනස් කරන්නේ රෝහලේ ගොඩනැගිලි සැළසුම් සහගත වැඩපිළිවෙළකට ගොඩනැගීමෙන් අනතුරුව සහ රෝහලට අවශ්‍ය සියළු සම්පත් ලබාදීමෙන් අනතුරුව බව ද සඳහන් කළේය.
රජයේ පාලන කාලය තුළ රෝහල් 05 ක පමණ නාම පුවරු අවශ්‍යතාව අනුව වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව ද ඉන් එක් රෝහලක් ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහල පෙන්වා දිය හැකි බව ද පැවැසීය.
රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු උදෙසා රුපියල් මිලියන 20,000 ක පමණ ආයෝජනයක් සිදුකරන බවද අවධාරණය කළේය.
සැළසුම් සහගත වැඩපිළිවෙලක් තුළ අනුරාධපුර ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීමේ දී වසරින් වසර රෝහල පසු කළ යුතු කඩයිම පිළිඳව ද ඉළක්කගත වැඩපිළිවෙළක් වන බවත් රෝහලක නමක් වෙනස් කිරීමේ දී ගැඹුරින් සැළකිළිමත් වන බවත් පැවැසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය සමයේ දිවයිනේ විවිධ රෝහල්වල අවිධිමත්ව සිදු කළ රෝහල් ඉදිකිරිම් වල අවශ්‍යතාවයන් පිළිබඳ කරුණු සොයා බලා සමහර ඉදිකිරීම් සිදු කිරිමටත්, තවත් සමහර ඉදිකිරිම් සීමා කිරිමටත්, සමහර ඉදිකිරීම් සිදු නොකිරීමටත් කටයුතු කළ බව ද වැඩිදුරටත් පැවැසීය.
රජයේ රෝහල් පද්ධතිය තුළින් ලබාදෙනු ලබන රෝගී සත්කාර සේවාවන් වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම් වලින් සමන්විතව ජනතාව වෙත ලබාදීම සඳහා පවතින අඩුපාඩු සොයා බලා ඒවාට කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණ පෙරදැරිව මෙම රෝහල් කළමණාකරණ කමිටු රැස්වීම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ගේ ද සහභාගීත්වය ඇතිව පවත්වනු ලබයි.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලක්ෂ 09 කට අධික ජනතාවකට මෙන්ම, පොළොන්නරුව, වව්නියාව, ත්‍රීකුණාමලය, මන්නාරම, පුත්තලම මුලතිව් වැනි අවට දිස්ත්‍රික්කවල මිලියන 03 කට අධික ජනතාවකට සෞඛ්‍ය සේවා සපයන අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැති කළමණාකරණ කමිටු රැස්වීමේ දී රෝහලේ මානව සම්පතෙහි පවතින ගැටළු පිළිබඳව අවධානය යොමු කළේය.
පසුගිය සමයේ අතරමඟ නවතා දමා තිබු මේ වනවිට නැවැත ඉදිකිරීමි කටයුතු ආරමිභ කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘති වල වත්මන් තත්ත්වය, රෝහලේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රතිසංස්කරණ කටයුතු, වෛද්‍ය උපකරණ සහ නිල නිවාස අවශ්‍යතාව වැනි රෝහලේ භෞතික සම්පත් අවශ්‍යතාවයන් පිළිබඳවත්, රෝහලේ යටිතල පහසුකම් සංවර්ධනයේ දී උද්ගතව තිබුණු ගැටළු රැසකටත් වැඩි අවධානයක් යොමු කරමින් විසදුම් ලබාදීමට ද පුහුණු සහ අධ්‍යාපන වැඩසටහන්, මූල්‍ය කළමණාකරණය, ප්‍රගතිය, විමසා බැලීමට ද මෙහිදී කටයුතු කෙරිණි.


