ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා Youth Club ජාතික සම්මේලනය එක්ව සංවිධානය කළ "තුරුණු දම්සර" පොසොන් කලාපය ඊයේ (29දා) මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ දී ආරම්භ කෙරුණි.
එහි සමාරම්භය පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණ අතර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා ඇතුළු Youth Club ජාතික සම්මේලනයේ නායකයින්ගේ සහ ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.
මෙම පොසොන් කලාපය ජූලි 01 වැනි දා දක්වා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ පැවැත් වේ. එහි බැති ගී ප්‍රසංගයක්, පොසොන් නාට්‍ය, පහන් කුඩූ ප්‍රදර්ශනයක්, ඩිජිටල් මාධ්‍ය ඔස්සෙ ප්‍රදර්ශනය කෙරෙන ජාතක කතා සහ දන්සැල් දැක බලා ගත හැකිය.
මෙහි සමාරම්භක අවස්ථාවේ අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසුවේ, තාරුණ්‍ය එක්ව රටේ සංස්කෘතික අනන්‍යතාවයන් රැක ගැනීම වෙනුවෙන් පෙරට පැමිණීම අගය කළ යුතු බවයි. එමෙන්ම මෙම පොසොන් කලාපය තුළ විශේෂත්වය වන්නේ වත්මන් තාරුණ්‍යයේ අනන්‍යතාවය මේ තුළ දැකගැනීමට හැකිවීම බව ද සුරවීර මහතා පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසුවේ , ජාතික තරුණ සේවා සභාව සියලු ආගමික සහ සංස්කෘතික උත්සව සැමරීම මේ වසරේදී සිදු කළ බවයි. ඒ අනුව ඉදිරියේදී නත්තල් දින සැමරුමක් සිදු කිරීමටද බලාපොරොත්තු වන බව සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
සියලු ආගමික සහ ජාතිකත්වයන්ට අනන්‍ය වූ සංස්කෘතික උත්සව සමරමින් ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම වෙනුවෙන් තාරුණ්‍යයේ දායකත්වය ලබා දෙන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය. ආගමික සහ සංස්කෘතික උත්සව සැමරීම මෙන්ම Youth Link Sri Lanka වැනි දේශීය තරුණ හුවමාරු වැඩසටහන් හරහා ජාතිකත්වයන් ස්විකරණය කරමින් ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම වෙනුවෙන් තාරුණ්‍යයේ ප්‍රවේශය ලබාගෙන ඇති බව ද සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


