මත්ද්‍රව්‍ය වලට යොමුවී පුනරුත්ථාපනය වන තරුණ තරුණියන් පෞද්ගලික අංශයේ ස්ථීර වෘත්තීමය රැකියා සඳහා යොමු කිරීමේ ඒකාබද්ධ වැඩසටහනක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ආරම්භ කර ඇත. අන්ත්‍රාකාරී ඖෂධ පාලන ජාතික මණ්ඩලය, පුනරුත්ථාපන කාර්යාංශය හා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා සහ අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේදී අද (30 දා) පැවැත්විණ.
මෙහිදී අදහස් දක්වමින් සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා, මේ වනවිට පෞද්ගලික අංශයේ කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු ලක්ෂ හතරකට අධික ප්‍රමාණයක් පවතින බවත් එම පුරප්පාඩු සඳහා ප්‍රමාණවත් පුහුණු හා නුපුහුණු සේවකයින් නොමැතිවීම නිසා ඉන්දියාව, චීනය වැනි රටවලින් විදේශිය ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට දේශීය කර්මාන්තකරුවන්ට සිදුව ඇති බව පැවසීය. විශේෂයෙන්ම ඉදිකිරීම්, ටයිල් හා උපාංග, පාවහන්, සම්භාණ්ඩ, ඔටෝ මොබයිල් ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍ර රැසක මෙලෙස පුරප්පාඩු පවතින බව පෙන්වාදුන් හදුන්නෙත්ති අමාත්‍යවරයා කර්මාන්ත අමාත්‍යාශයේ සෘජු මැදිහත්වීම මත ක්‍රමවත් පුහුණුවක් හා වැඩපිළිවෙළක් යටතේ කර්මාන්තකරුවන් වෙත පුනරුත්ථාපනය කරන ලද ශ්‍රමික පිරිස් යොමු කිරීමට නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.
මේ වනවිට විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවල වෘත්තීය පුහුණුව ලත් පුනරුප්තාපනය වූ තරුණ තරුණියන් දසදහසක් පමණ දෙනා සිටින බවත් වවුනියා, සේනපුර හා කන්දකාඩු යන පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුනෙන් වසරකට 800 ක පමණ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ පිරිසක් පුනරුත්ථාපනය කර වෘත්තීය පුහුණුව සමඟ නැවත සමාජගත කරන බව මෙහිදී අනාවරණය විය.
මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන S.W.C. ජයමිණි, සුසන්ත ජයතිලක ඇතුළු කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරීන්, පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපති මහාචාර්ය වසන්තා සුභසිංහ, අන්ත්‍රාකාරී ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති J.A.K. මාර්ක් ඇතුළු අන්ත්‍රාකාරී ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ නිලධාරීන්, වෘත්තීය පුහුණු අධිකාරී යේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


