ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තුවේ අනුමතිය

ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තුවේ අනුමතිය
  • SocialShare:

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපිත කිරීමට අදාළව ගෙනෙන ලද යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමතිය හිමිවිය.

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව විසින් ගන්නා ලද තීරණය පරිදි සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊට අදාළ යෝජනාව ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට අදාළ අනුමතිය හිමිවිය. එසේම එම ආංශික අධීක්ෂණ කාරක සභාවල සභාපතිධුර, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර බෙදීයාම පිළිබඳව ද මෙහිදී එකඟත්වය පළවිය.

මේ අනුව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යන ආංශික අධීක්ෂණ කාරක සභා 4හි සභාපතිධුර ආණ්ඩු පක්ෂයට ලබා දීමට එකඟත්වය පළවිය.

එසේම, යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යන කාරක සභා ත්‍රිත්වයෙහි සභාපතිධුර විපක්ෂයට ලබාදීමටත් මෙහිදී අනුමතිය හිමිවිය.