ජාත්‍යන්තර නීතියට අනුකූලව කලාපීය සාමය සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකාව වගකීම් සහගතව මැදිහත් වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
ඉරානයට අයත් තවත් නෞකාවක් කොළඹ වරායට නුදුරේ ස්ථානගතව තිබීම සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ඉන්දියානු සාගරයේ මේ වෙලාවෙත් යම්කිසි සිදුවීම් සිදුවෙමින් පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව මැදිහත්වෙමින් සිටින බවයි. ජීවිත හානි අවම කරගැනීම සඳහා සහ කලාපීය සාමය ආරක්ෂා කරගැනීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවද හෙතෙම පැවසිය.
"අපි කවුරුත් දන්නවා මැදපෙරදිග කලාපයේ දරුණු යුදමය තත්ත්වයක් වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිසා මේ වෙලාවේ රටක් විදියට පාර්ලිමේන්තුව හරි එළියේ මාධ්‍ය හරි උපයෝගී කරගෙන විහිළු කරන්නවත්, ආණ්ඩුව එක්ක තියෙන දේශපාලන කෝන්තර පිරිමහන්නවත් නැතිනම් තමන් ප්‍රකාශයක් කරන්නවත් එහෙම නැතිනම් තවත් ජන කොටසක් කුපිත කරවන ප්‍රකාශ කරන්නවත් අසත්‍ය තොරතුරු, අර්ධ සත්‍ය තොරතුරු වැරදි තොරතුරු මත පදනම්ව හිතලු කියන්නවත් වෙලාවක් නෙමෙයි.
හැම දේශපාලන දේශපාලනඥයෙක්ම, මහජන නියෝජිතයෙක්ම මෙවැනි ලෝක පරිමාණයෙන් තියෙන මෙවැනි වාරතාරවරණයක දී ඉතා වගකීම් සහගත ප්‍රකාශ කළ යුතුයි.
මේ කියන නැව තවමත් තිබෙන්නේ, අපේ ජාතික ජලතීරය තුළ නෙමෙයි. එය ජාතික ජලතීරයට ආසන්න Exclusive economic zone එකේ. ඒ සම්බන්ධයෙන් උපරිම මැදිහත් වීම කරමින් ඉන්නවා..."


