අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ දියුණුව හා Vision 2020 වැඩසටහන පිළිබඳ ව EXIM Bank Malaysia හි ප‍්‍රසාදය

    ඔක්තෝබර් 16, 2014

    දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි EXIM Bank Malaysiaහි සභාපති අදිසදිකින් බින් අලි (Adissadikin Bin Ali) සහ එහි බැංකුකරණ ප‍්‍රධානී නොර් ශාහ්මීර් බින් නොර් ෂහිඩ් (Nor Shahmir Bin Nor Shahid) යන මහත්වරු මෙරට බලධාරීන් සමඟ පැවති ධනාත්මක සාකච්ඡා මාලාවකින් අනතුරු ව එම සංචාරය සාර්ථක ලෙස අවසන් කළහ. 


    ඒ සම්බන්ධයෙන් ඊයේ (15) විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්විණි.

    එම මාධ්‍ය හමුවට ශ‍්‍රී ලංකාවේ මැලේසියානු තානාපති අස්මි සයිනුදීන් මහතා ද සහභාගී වූ අතර  EXIM බැංකුව මෙරට තුළ මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමට සූදානම් වන බව එහිදී අනාවරණය කෙරිණි. ශ‍්‍රී ලංකාව තුළ යහපත් ආර්ථික ප‍්‍රවණතාවන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹුණු බව බැංකුවේ නියෝජිතයෝ කියා සිටියහ. 

    සාමාන්‍ය අගයකට වඩා ඉහළ ලෙස සැලකිය හැකි 7% ක ආර්ථික වර්ධනයක් සමඟ එය තවදුරටත් වර්ධනය වීමට ඉඩ සැලසෙන පරිදි ප‍්‍රතිපත්ති සකස් වීම නිසා ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට බෙහෙවින් ස්ථාවර මට්ටමක පවතින බව ඔවුන්ගේ අදහස වේ. මේ වර්ධනය නිසා එය දකුණු ආසියාව තුළ ආදර්ශමත් ආර්ථිකයක් බවට පත් වී ඇත. OECD Development Centre හි 2014 මධ්‍යකාලීන පුරෝකතන වැඩසටහන් රාමුව (Medium-Term Projection Framework – MPF 2014) 2014ට අනුව දියුණුවෙමින් පවතින ආසියානු ආර්ථිකයන්හි සත්‍ය දළ දේශීය නිෂ්පාදිත වර්ධනය 2014-2018 කාලය තුළ තවදුරටත් වැඩිවනු ඇතැයි අනුමාන කෙරේ. 

    මේ තත්ත්වය යටතේ ශ‍්‍රී ලංකාවේ උද්යෝගීමත් පුද්ගලයන්, රටේ ක‍්‍රමෝපායික පිහිටීම සහ නැගෙනහිර ආසියාව, අප‍්‍රිකාව හා මැද පෙරදිග වැනි වෙළෙඳපොළවල්වලට නුදුරින් පිහිටා තිබීම යනාදී සාධක නිසා ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පැහැදිලි දියුණුවක් අත්දකිනු ඇත. 

    තම සංචාරයේ සාර්ථකත්වය පිළිබඳ ව අදහස් දක්වමින් බින් නොර් ෂහිඩ් මහතා මෙසේ පැවසීය. "මෙය ඉතාමත් හොඳ වැදගත් සන්ධිස්ථානයක් ලෙස අපි දකිනවා. එමෙන් ම අපේ මේ සංචාරය ශ්‍රී ලංකා රජයේ බහුවිධ සංවර්ධන ක‍්‍රමෝපාය  ‘Vision 2020’  වැඩසටහනට සහ 2035 වසර වන විට සංවර්ධිත ආර්ථිකයක් බවට පත්වීම සඳහා දරන උත්සාහයට පූර්ණ සහයෝගය පළකිරීමක් ලෙස දක්වන්නට පුළුවන්. මේ දැක්මේ ප‍්‍රධාන ම අංගයක් වන්නේ ග‍්‍රාමීය ප‍්‍රදේශ වෙතට සංවර්ධනය ගෙන යාමයි. ඒ ඔස්සේ, සංවර්ධනය කරා යන ගමනේදී මුළු රටම ඒකාබද්ධ කෙරෙනවා. මේ සමඟ විශාල ආයෝජනයන් ද සිදුවෙන නිසා සමාජ තත්ත්වයන් ද වැඩිදියුණු වන බව අපගේ අදහසයි." 

    තම සංචාරයේ දින දෙකක කාලය අතරතුර මහා භාණ්ඩාගාරයේ සහ මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් සමඟ සාකච්ඡා මාලාවක් පැවැත්වීමට ද මෙම නියෝජිතයෝ කටයුතු කළහ. 

    "ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය තුළ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර විසින් ප‍්‍රධාන කාර්යභාරයක් ඉටුකළ යුතු යැයි රජය විශ්වාස කරන බව මෙම සාකච්ඡාවලදී අපට පැහැදිලි වුණා. මෙම ක්ෂේත‍්‍රයේ ඵලදායිතාව සහ ඔවුන්ට ලැබෙන වෙළෙඳපොළ අවස්ථා වැඩිකිරීම සඳහා රජය විවිධ ප‍්‍රත්පත්ති ක‍්‍රියාවට නංවා තිබෙනවා. මේ සඳහා ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක මැලේසියානු සම්බන්ධතා සහිත සමාගම්වලට ව්‍යාපෘති මූල්‍ය සම්පාදනය, කොන්ත‍්‍රාත් මූල්‍ය සම්පාදනය සහ වෙළෙඳ මූල්‍ය සම්පාදනය වැනි ක‍්‍රම ඔස්සේ පැහැදිලි දායකත්වයක් ලබාදෙන්නට EXIM Malaysia බැංකුවට හැකියි. එමෙන්ම අපේ බහු නිෂ්පාදන රාමුව ඔස්සේ තාක්ෂණික සහය සපයන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. අපේ ශ‍්‍රී ලංකා සංචාරය ඉතාමත් ප‍්‍රයෝජනවත් හා ඵලදායී එකක් වූ බව කියන්නට පුළුවන්. 2020 ප‍්‍රතිපත්ති රාමුව මඟින් පැහැදිලිව දක්වා ඇති පරිදි ආර්ථික හා සාමාජයීය අභියෝග ජයගනිමින් තම අරමුණු ඉෂ්ට කරගන්නට ශ‍්‍රී ලංකාවට හැකි බව අපි දැඩි ව විශ්වාස කරනවා.” යැයි බින් නොර් ෂහිඩ් මහතා අවධාරණය කළේ ය. 

    Export-Import Bank of Malaysia Berhad හෙවත් EXIM බැංකුව සංස්ථාගත කරන ලද්දේ 1995 වසරේ අගෝස්තු 29දා ය. ඒ මැලේසියාවේ Minister of Finance Incorporated හි පූර්ණ අයිතිය සහිත, රජයේ හිමිකාරිත්වයට යටත් සංවර්ධන මූල්‍ය ආයතනයක් වශයෙනි. ප‍්‍රතිවර්තී ආයෝජනය (Reverse investment) මෙන් ම ප‍්‍රාග්ධන භාණ්ඩ, යටිතල ව්‍යුහ ව්‍යාපෘති, නැව්ගත කිරීම්, අගය එකතුකළ නිෂ්පාදන ආදී ක‍්‍රමෝපායික අංශවල අපනයනය දිරිමත් කිරීම සහ නව වෙළෙඳපොළවල් (විශේෂයෙන් ම සාම්ප‍්‍රදායික නොවන වෙළෙඳපොළවල්) වෙත පිවිසීමේ හැකියාවන් වැඩිකිරීම ආදී අරමුණු කෙරෙහි එහි මූලික අවධානය යොමු වී ඇත. සිය අපනයන ප‍්‍රචාරණ උත්සාහයන් හිදී EXIM බැංකුව මැලේසියාවේ ජාත්‍යන්තර වෙළෙඳාම් හා කර්මාන්ත අමාත්‍යංශය, බාහිර වෙළෙඳාම් සංවර්ධන සංස්ථාව, මැලේසියානු ආයෝජන සංවර්ධන අධිකාරිය, ඒ රටේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංස්ථාව සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වැනි ආයතන සමඟ සහයෝගීත්වයෙන් යුතු ව කටයුතු කරයි. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya