අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකාව මානව හිමිකම් පරීක්ෂණයට සහය දුන්නොත් එය ලොවට ම දෙන වැරදි පුර්වාදර්ශයක්

    සැප්තැම්බර් 27, 2014

    ශී‍්‍ර ලංකාවට එරෙහි ව සිදුකරන මානව හිමිකම් සම්බන්ධයෙන් පරීක්ෂණවලට සහය ලබාදෙන්නේ නම් එය අනාගතයේ කිසියම් දිනෙක ලෝකයේ කිනම් හෝ රටකට ලබාදෙන වැරදි පූර්වාදර්ශයක් වන බවට ශී‍්‍ර ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කරයි.

    සත්‍යයක් නොමැති ව අසත්‍ය කරුණු පදනම් කර ගනිමින් ශී‍්‍ර ලංකාවට එරෙහි ජගත් මානව හිමිකම් කවුන්සිලය සිදුකරන පරීක්ෂණ වෙනුවෙන් කිසිදු සහයක් ලබා නොදෙන අතර එවැනි පරීක්ෂණයක් අවසානයේ කිසිදු ප‍්‍රතිඵලයක් අපේක්ෂා කළ නොහැකි බවද එවැන්නක් නීතිගත වීමෙන් අර්බුද ඇති විය හැකි බව ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති රවිනාථ ආරියසිංහ මහතා ප‍්‍රකාශ කරයි.

     

    ශී‍්‍ර ලංකාවට එරෙහි එල්ලවන මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන් විසින් සිදුකරන ජාත්‍යන්තර පරීක්ෂණයේ වාචික වාර්තාව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 27 වන සැසිවාරය වෙත ඉකුත් 25 වැනි දා ඉදිරිපත් කෙරුණු අතර ඊට ප‍්‍රතිචාර දක්වමින් ශී‍්‍ර ලංකා තානාපතිවරයා මේ බව ප‍්‍රකාශ කර ඇත.

     

    ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් කඩවීම් සිදු වී ඇති බවට නගන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන් විසින් පරීක්ෂණ ආරම්භ කළේ පසුගිය ජුනි මාසයේදී වන අතර එම පරීක්ෂණය මෙහෙය වනු ලබන්නේ බාහිර විශේෂඥයන් තිදෙනෙකු විසිනි. එම කමිටුව මුළුමනින් ම ප‍්‍රතික්ෂේප කළ ශී‍්‍ර ලංකාව එක්සත් ජාතීන්ගේ කි‍්‍රයා පිළිවෙතට පටහැනි බව පෙන්වා දී ඇත.

     

    නොබෙල් සාම ත්‍යාගලාභී හා පින්ලන්තයේ හිටපු ජනාධිපති මාර්ට් අතිසාරී, නවසීලන්තයේ මහාධිකරණ විනිසුරු සිල්වියා කාට්රයිට් සහ පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සංගමයේ හිටපු සභාපති හා එරට හිටපු මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් අස්මා ජහන්ගීර් යන තිදෙනා ශී‍්‍ර ලංකාවේ සිදුවු බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා ජගත් මානව හිමිකම් කවුන්සලයේ හිටපු මහා කොමසාරිස් කොටි හිතවාදී නවනිදන් පිල්ලේ විසින් පත් කරනු ලැබිණ. මෙවැනි පිළිගත නොහැකි පරීක්ෂණයකට නීත්‍යනුකූලභාවයක් ලබා දීමට ශී‍්‍ර ලංකාව කිසිසේත් සුදානම් නැතැයි රවිනාථ ආරියසිංහ මහතා අවධාරණය කළේය.

     

    ශී‍්‍ර ලංකාව විසින් යම් තීරණයක් ගන්නේ නම් එය ඉදිරිය සම්බන්ධයෙන් හොඳින් සිතා බලා සිදුකරන්නක් බවත් රටේ ජනතාව මෙන්ම රටේ නියෝජිතයන් ද එම මතයට ගරු කරන බවත් රවිනාථ ආරියසිංහ මහතා ප‍්‍රකාශ කර ඇත.

     

    ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් මෙලෙස අසත්‍ය තොරතුරු පදනම් කරගෙන උල්ලංඝනය වීම් සිදු වූ බවට පරීක්ෂණ සිදු කරන්නේ නම් එය මෙරට සංහිඳියා කි‍්‍රයාමාර්ගයට බාධාවක් බව ද හෙතෙම සිහිපත් කර ඇත.

     

    මෙම සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස් ෆැවියා පැන්සියේරි සඳහන් කර ඇත්තේ ශී‍්‍ර ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කණ්ඩායම මේ මාසයේ රැස් වී පරීක්ෂණවල ප‍්‍රගතිය පිළිබඳ සාකච්ඡා කළ බවත් ය. වැඩිවෙමින් පවතින අන්තවාදය පිළිබඳ පරීක්ෂණ කමිටුව දැඩි අවධානයෙන් පසුවන බව ද නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය පවසා ඇත.

     

    ආගමික අන්තවාදයක් ශී‍්‍ර ලංකාව තුළ පවතින බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස්වරිය එල්ල කරන චෝදනා ජිනීවාහි ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා තරයේ ප‍්‍රතික්ෂේප කර තිබෙන අතර ඊට පිළිතුරු ලබා දෙමින් ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිතවරයා පෙන්වා දී තිබෙන්නේ රට තුළ ආගමික අන්තවාදය නිර්මාණය කරන කණ්ඩායම් නීතිය ඉදිරියට ගෙන ඒමට ලක් රජය පසුබට නොවන බවත් ජාත්‍යන්තර පරීක්ෂණයක් හරහා සිදු වන්නේ මෙරට සංහිඳියාවට තවදුරටත් බාධා එල්ල වීම පමණක් බවත්ය.

     

    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya