මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ මල් සහ විසිතුරු පැළ වගාවට දිවි නැඟුමෙන් පහසුකම්

    මැයි 01, 2014

    ගම්පහ දිස්ත‍්‍රික්කයේ විසිතුරු මල් වගාවෙහි සහ කැපුම් මල් වගාවෙහි නිරත මල් වගාකරුවන්ට අවශ්‍ය පහසුකම් දිවි නැඟුම වැඩසටහන යටතේ ලබාදෙන බවත් දිවුලපිටිය ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් විසිතුරු මල් අපනයන ගම්මානයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.


    ගම්පහ දිස්ත‍්‍රික්කයේ විසිතුරු මල් වගාවෙහි නිරත මල් සංගම්වල නියෝජිතයින් සහ එම අංශයට අයත් රජයේ නිලධාරීන් සමඟ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.


    ඉතා ලාභදායී කෘෂි භෝගයක් ලෙස මල් සහ විසිතුරු පැළ වගාව ලොව පුරා ප‍්‍රචලිත වී ඇති අතර ඒ අතරට ශ‍්‍රී ලංකාවද එක්ව තිබේ. ශ‍්‍රී ලංකාවේ මල් වගාව දේශීය සහ විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගෙන ව්‍යාප්තව ඇත. දේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගෙන කැපූ මල් සහ බදුන්ගත පැළ නිපදවන අතර කැපූ මල්, කැපූ පත‍්‍ර, බඳුන්ගත පැළ, ආකන්ද, අල, වියළි මල් සහ දඬු කැබළි යනාදිය විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගෙන නිපදවනු ලැබේ. වර්තමානය වන විට ඉතා දියුණු අපනයන භෝගයක් බවට පත්ව තිබෙන මල් වගාව සංවිධානාත්මක අපනයන වාණිජ වගාවක් ලෙස ස්ථාපිත වූයේ 1980 වසරේදීය. එම වසරේදී ශ‍්‍රී ලංකාව එම වගාවෙන් උපයා ගන්නා ලද විදේශ විනිමය රුපියල් මිලියන 1.67ක් විය.


    යුරෝපය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන අපනයන වෙළෙඳපොළ වන අතර නෙදර්ලන්තය, ජපානය, කොරියාව සහ මැදපෙරදිග යන රටවලටද මල් අපනයනය කරනු ලැබේ. ලංකාවේ මේ වන විට ප‍්‍රධාන අපනයන සමාගම් හතලිහක් පමණ පවතින අතර මල් වගාකරන්නන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවයි. ශ‍්‍රී ලංකාවේ බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල මල් වගාව බෙහෙවින් ප‍්‍රචලිත වී ඇති අතර බස්නාහිර පළාතේ පමණක් හෙක්ටයාර් 500කට අධික ප‍්‍රමාණයක මල්වගාව ව්‍යාප්තව පවතී.


    බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත‍්‍රික්කය මල් වගාවට වඩාත් ප‍්‍රචලිතව ඇති අතර එම දිස්ත‍්‍රික්කයේ මල් වගාව දියුණු කිරීම සඳහා ආර්ථික සංවර්ධනය අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක දිවි නැඟුම වැඩසටහන ජාතික උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව වැඩසටහන් රැසක් පසුගිය වසර කිහිපය තුළ ක‍්‍රියාවට නැංවීය. ගම්පහ දිස්ත‍්‍රික්කයේ දිවුලපිටිය ගම්මානය මල් වගාවට වඩාත් ප‍්‍රසිද්ධියක් ලබා ඇති අතර එම ප‍්‍රදේශයෙහි මල් වගාවෙහි නිරතවූවන්ගේ ප‍්‍රමාණය 110ක් පමණ වේ. ඉන් 12 දෙනෙකු මහා පරිමාණයේ වගාකරුවන් වන අතර 06 දෙනෙකු මාධ්‍යම පරිමාණයේ මල් වවන්නන් වේ. කුඩා ප‍්‍රමාණයේ මල් වවන්නන්ගේ සංඛ්‍යාව 92ක් පමණ වේ. සැන්ඩි‍්‍රයානා, කැපූ පත‍්‍ර ශාක, ඇන්තූරියම් සහ ඕකිඩ් වැඩි භූමි ප‍්‍රමාණයක වගාකර කර ඇත. මෙම කර්මාන්තයේ නිරතවුවන්ගේ ගැටලු හඳුනා ගනිමින් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විසින් රාජ්‍ය නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.


    මල්කරුවන්ට අවශ්‍ය තාක්‍ෂණය සහ දැනුම ලබා දීම, මව් ශාඛ උත්පාදනය කිරීම සඳහා ප‍්‍රභේද හඳුනාගැනීම සහ ඒවා වැඩිදියුණු කිරීම, පටක රෝපණ විද්‍යාගාර වැඩි දියුණු කිරීම යනාදි කාර්යන් කිරීමට ජාතික උද්භිදවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරන ලදී. මල් වගාකරුවන්ගෙන් තෝරාගනු ලැබුවන් විදෙස් පුහුණු වැඩසටහන්වලට යොමු කරවීම සහ විදේශයන්හි පැවැත්වෙන ප‍්‍රදර්ශනවලට සහභාගීවීමට අවස්ථාව ලබාදෙන බවද අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා කියා සිටියේය. එමෙන්ම ඔවුන්ට සහන පොලී ක‍්‍රමයක් යටතේ මුල්‍යමය ණය ආධාර ලබාදීම සහ දේශීය වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවද ප‍්‍රකාශ කළ අමාත්‍යවරයා ඉදිරියේදී දිවුලපිටිය ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සංචාරක අපනයන ගම්මානයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරන බවද ප‍්‍රකාශ කළේය.


    මෙම අවස්ථාවට උද්භිද විද්‍යා හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විලී ගමගේ, ජාතික උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් පිරිසක් සහ දිවුලපිටිය මල් සංගමගේ සභාපති ඇතුළු මල් වගාකරුවන් පිරිසක් ද එක්ව සිටියහ.


    NDH/MED

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya