මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප‍්‍රජාව විසින් පාලනය කරනු ලබන පළමු දෙපාර්තමේන්තුව දිවිනැගුමයි

    අප්‍රේල් 27, 2014

    ජනතාවගෙන් පත්වූ පාලන සභාවක් මගින් පාලනය කරනු ලබන පළමු දෙපාර්තමේන්තුව දිවිනැගුම දෙපාර්තමේන්තුව බවත් එම දෙපාර්තමේන්තුවේ සියලු කටයුතු ප‍්‍රජා සංවිධාන මගින් සිදුකිරීමට අවස්ථාව ලබාදී ඇති බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (27) දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයේ සහ බත්තරමුල්ල කලාප අංක එකෙහි වැඩ ආරම්භ කිරීම නිමිත්තෙන් පැවති උත්සවයක් අමතමිනි.


    දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය කොළඹ 03 කාසල් වීදියෙහි පිහිටා ඇති අතර දිවයිනම ආරවණය වන පරිදි තවත් කාලප කාර්යාලයක් 06 පිහිටුවා අද දින ඒවයෙහි වැඩ ආරම්භ කරන ලදී. ඒ අනුව කලාප අංක 01 කොළඹ (බත්තරමුල්ල) දිස්ත‍්‍රික්කයයේත්, කලාප අංක 02 කුරුණෑගල (වාරියපොළ) දිස්ත‍්‍රික්කය තුළත්, කලාප 03 මහනුවර (පේරාදෙණිය) දිස්ත‍්‍රික්කය තුළත්, කලාප අංක 04 හම්බන්තොට (බුල්ජන්ස් පාර) දිස්ත‍්‍රික්කය තුළත් කලාප අංක 05 අනුරාධපුරය  (මෙත්තා මාවත) සහ අංක 06 වව්නියාව (මන්නාරම් පාර) දිස්ත‍්‍රික්කයේත් පිහිටුවා ඇත.


    ප‍්‍රධාන කාර්යාලයේ සහ කලාප අංක 01හි වැඩ කටයුතු ආරම්භ කිරීම අද අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවූ අතර ඊට සමගාමීව සෙසු කලාපයන්හි කලාප අතිරේක අධ්‍යක්‍ෂ ජෙනරාල්වරු ඇතුළු ප‍්‍රාදේශීය දේශපාලන නායකත්වගේ මූලිකත්වයෙන් අද සිදු කෙරිණි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.


    “අද මම ඉතාම සතුටු වෙනවා. අද මගේ උපන් දිනයත් යෙදිලා තිබෙන නිසා මට මතක් වුණා, මේ දිනේ මගේ අම්මා මාව බිහි කරනකොට මොන තරම් වේදනාවක් විඳින්න ඇද්ද කියලා. ඒ වගේම මේ දෙපාර්තමේන්තුව බිහිකරන්නත් විශාල දුකක් වින්දා. දුකක් විතරක් නොවේ විශාල අනතුරකටත් මුහුණදෙන්න ඉඩ තිබෙද්දි තමයි ජනාධිපතිතුමා මෙය සම්මත කර ගත්තේ. එතුමා නොහිටින්න මම හිතන්නේ අපේ ඇමතිවරු දන්නවා මේ කාර්ය කරන්න කොතරම් අමාරු වුනාද කියලා. මේ දෙපාර්තමේන්තුව පිහිටුවන්න මට සිද්ධ වුණේ පවිත‍්‍රාදේවී වන්නිආරච්චි ඇමතිතුමිය ඉන්න කාලේ වෙච්ච පොරොන්දුවක් නිසා. සියලුම සේවක සේවකාවන් ස්ථිර කරන්නත්, ඔවුන්ට විශ‍්‍රාම වැටුපක් ලබා දෙන්නත් ජනාධිපතිතුමාගේ අනුදැනුම ඇතිව පවිත‍්‍රා ඇමතිතුමිය පොරාන්දු වෙලා තිබුණා. ඒක ලොකුම ලොකු අභියෝගයක්. නමුත් ඒ අතර අපිට පෙනුණා මේක කරන අතර තුර අපේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම අපේ රටේ සියලු ප‍්‍රතිලාභීන් වෙනුවෙන් යම්කසි කාර්ය භාරයකුත් ඉෂ්ඨ කරන්න  ඕන කියලා. ඒ අනුව තමයි මේ දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබුවේ.


    බි‍්‍රතාන්‍යයන් තම අධිරාජ්‍යවාදය පිහිටුවලා ඒ රටවල් පාලනය කරන්න යොදා ගත්තු ක‍්‍රමයක් තමයි දෙපාර්තමේන්තු ක‍්‍රමය. ඒ රටවල්වල තමයි මේ දෙපාර්තමේන්තු ක‍්‍රමය තිබෙන්නේ. ඒ අය භූමිය පාලනය කරලා ඒ භූමියේ තිබෙන සම්පත් බි‍්‍රතාන්‍යයේ ඉන්න මහ රැජනට යවන්න තමයි මේ දෙපාර්තමේන්තු පිහිටෙවුවේ. ජනතාවගෙන් ඒවා කලට වෙලාවට එකතු කරන්න තමයි විගණන දෙපාර්තමේන්තු වගේ ඒවා පිහිටෙවුවේ. ඒවයින් විගණන කළේ හරියට ආදායම් බදු ගෙනවනවද කියලා. ඉතින් මේ දෙපාර්තමේන්තුව ඉන් පිටතට ගිහින් වෙනමම පනතක් ගෙනත් කටයුතු කරන්න හැදු නිසා තමයි උසාවි යන්න සිද්ධ වුනේ. මම මේ දෙපාර්තමේන්තුව පිහිටුවන්න අත්සන් කරන වෙලාවෙත් කිව්වා මේක ඒ විදියෙ දෙපාර්තමේන්තුවක් නොවෙයි කියලා.


    මේක සාම්ප‍්‍රදායික දෙපාර්තමේන්තුවක් නො ව ජනතාව වෙනුවෙන් බිහිවෙච්ච රටේ අවශ්‍යතාවය අනුව සැකසූ භුමිපුත‍්‍රයන්ගේ දෙපාර්තමේන්තුවක්ය කියන එක අවබෝධ කර ගන්න බැරිවුණා, උසාවියේ ඉන්න අයටත්. මේ නඩු දාපු අයටත්. තීන්දුව කවුරු දුන්නත් නඩුව දැම්මේ අපේම වැඩකරන අය. මේ වගේ වේදනාවෙන් බිහිවෙච්ච දෙපාර්තමේන්තුවක්. ඒ වගේම මම අද ලොකු සතුටක් විඳිනවා ඒ කාර්යය කරපු කෙනෙක් විදියට. මේකෙ නියම සතුට විඳින්න නම් හැම ගමකටම ගිහිල්ලා හැම ගෙදරකටම ගිහිල්ලා ඒ අයගේ අවශ්‍යතාවන් ඉෂ්ඨ කරලා මේ දෙපාර්තමේන්තුවේ නියම අයිතිකරුවන් වන ජනතාවගේ පාලනයක් බවට පත් කළ යුතුයි. එහෙම වුනොත් තමයි අපි සියලු දෙනාටම සතුටු වෙන්න හැකි වෙන්නේ. ඒ නිසා ඒ අයගේ අවශ්‍යතාවන් ඉෂ්ඨ කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම ඔබේ අවශ්‍යතාවන් තිබෙනවා නම් ඒවා ඉෂ්ඨ කරන්න ඇමතිවරයා හැටියට මම භාර ගන්නවා. ඔබතුමන්ලා බාගෙට සන්තෝස කරන්න නොවෙයි ජනාධිපතිතුමා මට මේක භාරදීලා තිබෙන්නේ. ඒ නිසා සේවකයින්ගේ අනාගතයේ වගකීම මම භාර ගන්නවා.


    නමුත් හැමදේම මට  ඕන විදියට කරන්න බැ. රාජ්‍යසේවා කොමිසම් සභාවක් තිබෙනවා. චක‍්‍රලේඛ තිබෙනවා. වෘත්තීය සමිති තිබෙනවා. ඒ ඔක්කොටම අනුකූලවයි කටයුතු කළ යුත්තේ. මේ දෙපාර්තමේන්තුවේ 30,000කට වැඩිය බලකායක් ඉන්නවා. මගේ අමාත්‍යාංශයේ දැන් ඉන්නවා ලක්‍ෂයක් පමණ සේවක සංඛ්‍යාවක්. මේ ලක්‍ෂයට ලොකු වගකීමක් තිබෙනවා. මේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න. ඔවුන්ගේ වැටුප් සඳහා විතරක් බිලියන 18ක් වියදම් කරනවා. අලුතින් පත්වුණු ආර්ථික සංවර්ධන නිලධාරීන්ට පමණක් බිලියන 09ක් වියදම් වෙනවා. ඉතින් ඒ නිසා ඔබේ යුතුකම් ඉෂ්ඨ කිරීම ඔබේ යුතුකමක්. මට ඔබලා ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා.


    මේ දෙපාර්තමේන්තුවේ කුලුණු තුනක් තියනවා. පළවෙනි එක තමයි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. ඒක අධ්‍යක්‍ෂ ජනරාල්තුමාගේ ඉඳලා පහළටම තිබෙනවා. අපි තව පහසුවෙන්න කලාප 06කට වෙන් කරලා තියනවා. අපි පළාත් බෙදුවේ මේ රටේ භූගෝලීය පිහිටීමත් ජනතාවගේ ආර්ථික රටාවත් තව හුඟක් දේවල් බලලා. ආරම්භයේදීම අපි බලය බෙදාදීලා තිබෙනවා. මේ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානීන් 06ක් ඉන්නවා. එහෙම කළේ දැවැන්ත වැඩක් කරනකොට මේ ඔක්කොම එක තැනකටම ගොනු වෙන්නේ නැතුව කටයුතු කරන්න බලය ලබා දෙන්න.
    දෙවනි එක ප‍්‍රජාමූල සංවිධාන ව්‍යුහයක් තිබීම. ඒකට ගමේ සිට ජාතික මහා සභාවක් දක්වා ව්‍යාප්ත වෙච්ච සංවිධානයක් තිබෙනවා. පළමු වතාවට දෙපාර්තමේන්තු ප‍්‍රධානියට ඉහළින් ජනතාවගෙන් පත්වෙච්ච පාලන සභාවක්  දෙපාර්තමේන්තුවට ඇතුළත් කරපු පළමු අවස්ථාව. මේක තමයි ලංකාවේ තිබෙන එකම දෙපාර්තමේන්තුව ප‍්‍රජාව පාලනය කරන. ඒ නිසා මේක ජනතාවට කිට්ටු එකක්. පාලනය කරන්නේ ප‍්‍රජාමූල සංවිධාන මගින්. සමෘද්ධි නිලධාරියා ප‍්‍රජාමූල සංවිධානයට පහසුකාරකයෙක් ලෙස ක‍්‍රියා කරනු විනා පාලකයෙක් ලෙස කටයුතු කරන්න නොවෙයි අපි මේක පිහිටුවලා තියෙන්නේ. මේක අපේ සමූපකාර ක‍්‍රමයෙත් තිබිච්ච දෙයක්. ජනතාව පාලනය ගෙන යද්දි අපි පැත්තකින් ඉඳලා ඒකට මග පෙන්වීම සහ පහසුකම් සැලසීම කළ යුතුයි.


    අනෙක් එක තමයි ක්‍ෂුද්‍රමූල ජාලය.  ඕනැම ආයතනයක සාර්ථකත්වය තිබෙන්නේ මුල්‍යපාලනය උඩයි. ග‍්‍රාමීය දිළිඳුකමේ මූලික ප‍්‍රශ්නයක් වුණේ ඔවුන්ගේ මුල්‍ය ශක්තිය නැතිවීම. ඇත්තටම මේක හොයලා බැලුවම මේ කොළඹ ඉන්න මහා ධනපතියන්ට වැඩි ශක්තියක් ඔවුන්ට තිබෙනවා. මේක වාණිජ බැංකුවක් නොවයි. ප‍්‍රජාවගේ බැංකුවක්. මේ රටේ ජනතාව දුක්මහන්සියෙන් හම්බ කරපු මුදල් යොදපු මේ බැංකුව මට අවශ්‍ය නෑ වාණිජ බැංකුවක් කරන්න. මේ තුළින් අපට මුළු ශ‍්‍රී ලංකාවම වෙනස් කරන්න පුළුවන්.


    දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන වගකීම වන්නේ ග‍්‍රාමීය ජනතාවගේ හැම අවශ්‍යතාවක්ම ඉෂ්ඨ කරන්න. අපේ රටේ ආර්ථික වර්ධන වේගය 7.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම යුරෝපා රටකින් මට ලිපියක් ආවා ආයෝජනයට ඉතාමත් සුදුසු රටවල් පහ අතර ශ‍්‍රී ලංකාව ඉහළින්ම ඉන්න බවට. ඉතින් මේකට මටත් හරිම සතුටුයි. අතිගරු ජනතාධිපතිතුමා මේ රට වෙනස්කරලා තියනවා. ඒකට හැම දෙනෙක්ම විශාල කැපවිමක් කළා. ඉදිරියටත් ඒ කැපවීම අපේක්‍ෂා කරනවා.”


    මෙම අවස්ථාවට ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ. එච්.එම්. ෆවුසි, විදුලිබල හා බලශක්ති ඇමතිනී පවිත‍්‍රාදේවී වන්නිආරච්චි, පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක්ද, දිවිනැගුම දොපර්මේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආර්. ඒ.ඒ.කේ. රණවක මහතා ඇතුඃඵ රජයේ උසස් නිලධාරීහු රැසක්ද පැමිණ සිටියහ.


    HC/KT_med

    Boralla Divineguma

    Boralla Divineguma 1

    Boralla Divineguma 2

    Boralla Divineguma 3

    Boralla Divineguma 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya