අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ජනතාවගේ වෘත්තීය නිපුණතා පුහුණුව වර්ධනයට පියවර

    අප්‍රේල් 27, 2014

    උතුරේ වෙසෙන ජනතාවගේ නිපුණතා පුහුණු අවශ්‍යතාවන්ට පහසුකම් සැලසීම සඳහා සහ කිලිනොච්චියේ ශ්‍රී ලංකා - ජර්මන් පුහුණු ආයතනය විසින් පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන්ට ඇතුළත් වීමට ඔවුන් සූදානම් කිරීම සඳහා ශ්‍රී ලංකා තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාශය විසින් දොන් බොස්කෝ තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය සහ විකලාංග පුද්ගලයන් පුනරුත්ථාපන කිරීමේ සංවිධානය යන රාජ්‍ය අංශයේ නොවන ආයතන ද්විත්වය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී.


    2015 වනවිට නිම කිරීමට නියමිත කිලිනොච්චියේ ශ්‍රී ලංකා - ජර්මන් පුහුණු ආයතනය, ශ්‍රී ලංකා සහ ජර්මන් රජයන් අතර සහයෝගීතාවක් වන, ශ්‍රී ලංකා උතුරුකරයේ වෘත්තීය පුහුණුව, යන මුලපිරීමේ එක් අංගයකි. මේ තුළින් ද්විතීයක අධ්‍යාපනයෙන් පසු පාසැල් හැරයන්නන්, රැකියා විරහිත හෝ ඌන සේවා නියුක්තික තරුණ ප්‍රජාව, අවවරප්‍රසාදිත පසුබිමකින් එන තරුණ කොටස් හා යුධ වැන්දඹුවන් ඇතුළු විශේෂයෙන් ගැටුමෙන් බලපෑමට ලක්වූ ජන කණ්ඩායම් ඇතුළු උතුරු පළාත් ජනතාවගේ වෘත්තීය නිපුණතා පුහුණුව හා රැකියා අවස්ථා බොහෝ සේ වර්ධනය කෙරෙනු ඇති බවට අපේක්ෂිතය.


    ජාතික වෘත්තීය සුදුසුකම් 3 හා 4 මට්ටම් පැවැත්වීම සඳහා සහ පූර්ණ ලෙස ක්‍රියාත්මකවීම ආරම්භ කළ පසු ශ්‍රී ලංකා - ජර්මන් පුහුණු ආයතනය විසින් පැවැත්වීමට නියමිත වඩාත් ඉහළතලයේ සුදුසුකම් වන 5 හා 6 මට්ටම් සඳහා සිසුන් සූදානම් කිරීම සඳහා උතුරු පළාතේ පෝෂක පුහුණු මධ්‍යස්ථාන 8ක් මේ වන විට හඳුනාගනු ලැබ ඇත. මේ පෝෂක පුහුණු මධ්‍යස්ථාන මඟින් දැනට ජාතික වෘත්තීය සුදුසුකම් 5 හා 6 මට්ටම් හා සමපාත වන ඩිප්ලෝමා පහුණු වැඩසටහන් හයක් හා කර්මාන්ත පාඨමාලා හතරක් පවත්වාගෙන යයි.


    පෝෂක පුහුණු මධ්‍යස්ථාන විසින් පවත්වනු ලබන කර්මාන්ත පාඨමාලාවන්හි ගෘහස්ථ හා රැකියා පුහුණු වැඩසටහන් දෙඅංශයටම සහභාගීවන්නන්ගෙන් කැපී පෙනෙන ප්‍රමාණයක් කාන්තාවන් වන අතර එය සියයට 30ට වැඩි ප්‍රතිශතයකි. වවුනියාවේ දොන් බොස්කෝ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, පිළිබඳ කර්මාන්ත පාඨමාලාවේ කාන්තා සහභාගීත්ව ප්‍රතිශතය 100%කි. වවුනියාවේ ම පිහිටි විකලාංග පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයට සහභාගී වන්නන්ගෙන් 70%ක් ආබාධ සහිත පුද්ගලයන්ය. මෙම ප්‍රදේශවල වෙනත් හැකියාවන් සහිත ජනතාව සමාජීය හා ආර්ථික වශයෙන් වඩාත් බලාත්මක කිරීමේ අරමුණින් මේ මධ්‍යස්ථානය ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් විශේෂයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන්නකි.


    ඉහත මධ්‍යස්ථානවලට අමතරව, කැනඩාවේ වර්ල්ඩ් යුනිවර්සිටි සංවිධානයේ සහයෝගයෙන් නැවත පදිංචි වූ ජනතාව අතර වෘත්තීය අධ්‍යාපනය ප්‍රචලිත කිරීම සඳහා කිලිනොච්චි, මුලතිවු හා වවුනියා දිස්ත්‍රික්කවල නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තුනක් හා පූර්ව අධ්‍යයන හඳුනාගැනීමේ මධ්‍යස්ථාන තුනක් ස්ථාපනය කර ඇත.

     

    HC /llrc

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya