"සමාජ මාධ්‍ය හා යෞවනය" මැයෙන් පවත්වනු ලබන මේ සම්මන්ත්‍රණ මාලාව ඇසුරෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය විවැරදිව භාවිත කරන ආකාරය පිළිබඳව පාසල් සිසුන් හා ගුරුවර ගුරුවරියන් දැනුම්වත් කිරීමක් මේ සම්මන්ත්‍රණය මගින් සිදුකෙරිණ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් හතළිහක සිසු සිසුවියන් පන්සීයක පමණ පිරිසක් මීට සහභාගී වූහ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය, ආරියරත්න ඇතුගල හා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණකවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්.ටී. නන්දසාර මහතා මෙහිදී දේශන පැවැත්වූහ.
ෆේස් බුක් වැනි සමාජ වෙබ් අඩවි තහනම් කිරීමෙන් ඊට විසඳුම් සෙවීමට නොහැකි බවත් එය අවබෝධයෙන් යුතුව භාවිත කළ යුතු බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා සිය දේශනයේදී අවධාරණය කළේය.
" වර්තමානයේ ජනමාධ්‍ය භාවිතයෙහි යෙදෙන්නේ ජනමාධ්‍යවේදීන් නොව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යවන් ඇතුළු ජනතාවයි. සමාජයේ ජීවත්වන හැමෝටම එම මාධ්‍ය භාවිතයේ අයිතිය තිබෙනවා. ජනමාධ්‍යයේ එදා පැවැතියේ සමාජය ආරක්ෂා කරන මුර බල්ලා(වොච්ඩෝග්) සංකල්පයයි. එහෙත් පරිගණකය පැමිණීමත් සමඟ මුර බල්ලා සංකල්පය වෙනස් වී අපව ආරක්ෂා කරන මුරබල්ලා ඔඩොක්කුවේ තියාගෙන සුරතල් කරන ඔඩොක්කු කුක්කා( ලැප් ඩෝග්) නමැති සංකල්පයට පිවිසියා. ඒ හුරතල් කිරීමෙන් අපට උවමනා කරන දේවල් අන්තර්ජාලය ඔස්සේ සෙවීමට පටන්ගත් නිසා. ඒ අනුව මේ හුරතල් බල්ලා යන සංකල්පයත් වෙනස් වී අද ඉන්නෙ "හපාකන බල්ලෙක්"(ඇටෑක් ඩෝග්).
එදා අපව ආරක්ෂා කළ මුර බල්ලා අද අපව ආරක්ෂා කරනවාට වඩා අපව හපා කනවා. යකඩ ගොඩවල් වැනි විශාල සුන්බුන් ගොඩක් ගොඩගහලා මෙතැන බල්ලෙක් තබා තිබෙනවා. යකඩ ගොඩින් වැඩකුත් නැහැ. ඒකට කාටවත් යන්න දෙන්නෙත් නැහැ. මෙවැනි විශාල සුන්බුන් ගොඩක් දවස පුරා ප්‍රදානය කරමින් ඉදිවන වත්මන් මාධ්‍ය ලෝකය තේරුම්ගැනීමට තිබෙන්නේ හපාකන බල්ලෙක් පිළිබඳ සංකල්පයෙන්. මෙය ඉතා සංකීර්ණයි. කුමන අධ්‍යාපන ක්‍රමයකින්වත්, කුමන ආගමකින්වත් සරණක් නැහැ. මීට පෙර මාධ්‍යයේ එක් අයෙකුගෙන් විශාල පිරිසකට( one to many) තොරතුරු ලබා දුන්නත් වර්තමානායේ සිදුවන්නේ විශාල පිරිසකගෙන් තවත් විශාල පිරිසකට(more to many)තොරතුරු ගලායාමක්. මේ සංකීර්ණ ක්‍රියාවලිය වටහා ගැනීම මඟහරින ශිෂ්‍යයන්, ගුරුවරුන්, වැඩිහිටියන් සමාජ මාධ්‍යයේ අතරමං වෙනවා.
වර්තමානයේ අධ්‍යාපනය, ආගම්, සංස්කෘතිය ආදී සියල්ල අන්තර්ජාලය හා බැඳී පවතිනවා. මෙය සදාචාරාත්මක ප්‍රශ්නයක් නොවේ. මෙය තමන්ම තේරුම්ගත යුතුයි. බටහිර රටවල හා ඇමරිකාවේ තාරුණ්‍යය ෆේස්බුක් නිසා දුක් විඳිනවා. මේවා තහනම් කළ යුතුයි කියා අප සිතුවත් හැම දෙයක්ම තහනම් කිරීමෙන් නිවැරදි කරන්න යන සමාජයක් බවට පත්වෙනවා. එසේ තහනම් කළ යුතු ද නැහැ. තහනම් කිරීමෙන් ප්‍රතිඵලදායක වන්නේත් නැහැ. එය ප්‍රායෝගික කටයුත්තක් නොවේ. ඕස්ට්‍රේලියාවේ 2011 දී පාසල් 1600කට අයත් ෆේස් බුක් තහනම් කළා. එය වයස 17 ගැහැනු ළමයකුට පිරිමි ළමයින් පිරිසක් පහරදී එම වීඩියෝව ෆේස් බුක් එකේ දැම්ම නිසා ඇගේ මානව හිමිකම් හා පෞද්ගලිකත්වයට හානි පැමිණීම නිසයි. චීනය, මැදපෙරදිග හා පකිස්ථානය යන රටවල් පමණයි තහනම පිළිබඳ විශ්වාසයකින් ක්‍රියාකරන්නේ. මහත්මාගාන්ධි තුමාගේ ඡායාරූපය විකෘති කළ අවස්ථාවේදී ඉන්දියාව එම සමාජ වෙබ් අඩවිය තාවකාලිකව තහනම් කළා. තාක්ෂණය ගමන්කරන වේගය අනුව එහි ස්වභාවය කාටවත් නවත්වන්න බැහැ. අධිවේග මාර්ගවල අනතුරු සිදුවීම හේතුවෙන් එම මාර්ග සෑදීම නවත්වන්නේ නැහැ. ගුවන්යානා අනතුරුවලින් මගීන් මියගියත් ගුවන්යානා තාක්ෂණය තහනම් කළ යුතුයි කියා පාරට බහින්නේ නැහැ. මේ නිසා මේ පිළිබඳ අවබෝධයෙන් යුතුව නව මාධ්‍ය පරිහරණය කිරීම වැදගත්. ප්‍රධාන වශයෙන් අපේ සන්නිවේදන කුසලතාවන් මාධ්‍ය සාක්ෂරතාවක් වර්ධනය විය යුතුයි." යනුවෙන් මහාචාර්ය ඇතුගල මෙහිදී සිය දේශනයෙන් අවධාරණය කළේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය එස්.ටී. නන්දසාර මහතා පවසා සිටියේ, ගූගල් සමාගම සමීක්ෂණයකින් අන්තර්ජාලය ඔස්සේ වැඩිපුරම ලිංගික දර්ශන නරඹන රට ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීම වෙනත් විදිහකින් ශ්‍රී ලංකාව අපහසුතාවට පත්කිරීමට ප්‍රකාශයක් විය හැකි බවයි. මෙහිදී නන්දසාර මහතාගේ දේශනයෙන් ෆේස්බුක් සන්නිවේදන තාක්ෂණය හා භාවිතය පිළිබඳ විස්තරාත්මක දැනුමක් පාසල් දරුවන්ට ලබා දුනි.
කුරුණෑගල, වයඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඒ, එම්. සිසිර අතපත්තු මහතා පිළිගැනීමේ කතාව කරමින් පවසා සිටියේ "රත්තරන්වලින් පංචායුධයක් සාදා ළදරුවන්ට රැකවරණය දීමට පුළුවන් මෙන්ම රත්තරන්වලින් ම සෑදූ බඳුනකට විෂ ද දැමීමට පුළුවන්. රත්තරන් කඩු ද දෑදීමට පුළූවන්. සමාජ මාධ්‍යයත් මේ වගෙයි. නූතන තාක්ෂණය භාවිතයෙන් දරුවන්ගේ යහපත් අරමුණු සාක්ෂාත් කරගත හැකියි. ඒ සඳහා හොඳ අවබෝධයකින් තෝරා බේරා ගෙන අන්තර්ජාලයේ අතරමං නොවී භාවිත කළ යුතුයි." යනුවෙන් පෙන්වා දුන්නේය.
මෙසේම මේ අවස්ථාවට වයඹ පළාත් අධ්‍යාපන කාර්යාලයේ ව්‍යාපෘති නිලධාරී වසන්ත හේරත් මහතා ද කෙටි දේශනයක් පැවැත්වීය.
මේ සම්මන්ත්‍රණ මාලාව සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
JR