මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර බහුමාදිලි මගී ප්‍රවාහන පර්යන්ත බස් ධාවන වැඩසටහන පිළිබඳ පෙරහුරු වැඩසටහන 20 දා

    ජූනි 19, 2018

    දැනට මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ පවතින ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඉදි කිරීමට නියමිත බහුමාදිලි ප්‍රවාහන පර්යන්තයේ ඉදි කිරීම් කටයුතු සිදු වන කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ධාවන සැලැස්ම පිළිබද පෙරහුරු වැඩසටහනක් ජූනි 20 වැනි දින ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

    ඒ අනුව 20 දින උදෑසන සිට දිනය පුරාම මෙම පෙරහුරුව පැවැත්වීමට නිමිතය. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය හරහා ඉදි කිරීමට නියමිත මෙම බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

    ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානය ඒකාබද්ධ කරමින් ඉදි කෙරෙන මෙම ව්‍යාපෘතිය තුළින් ලොව දියුණු රටවල පවත්නා තාක්ෂණික ක්‍රම උපයෝගි කරගෙන මහනුවර දිස්ත්‍රික්කයට බලපා ඇති ප්‍රවාහන ගැටළු සදහා විසදුම් ලබා දීමට නියමිතය.

    නගරයේ වාහන තදබදයද අවම කිරීම, පරිසරය දූෂණය අවම කිරීම සහ මගී ජනයාගේ ප්‍රවාහන අවශ්‍යතා සදහා කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබා දීම මෙම ව්‍යාපෘතිය තුළින් ලැබෙන තවත් ප්‍රතිලාභ කිහිපයකි.

    මහනුවර නගරයේ සිට දැනට විවිධ ස්ථාන වලින් ආරම්භ කෙරෙන සියළුම බස්රථ සේවාවන් මෙම බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදි වීමෙන් පසු එම ස්ථානය වෙත ගෙන යෑමට නියමිතය. ඉදි වන ප්‍රවාහන පර්යන්තය තුළ බස් ප්‍රවාහන සේවයේ යෙදෙන සේවකයින් සහ අනෙකුත් මෙහෙයුම් කාර්ය මණ්ඩල සදහා අවශ්‍ය සියළු පහසුකම් සපයා ඇති අතර, ආකර්ශනීය වෙළද සැල් සහ ආපන ශාලාවලින්ද සමන්විත වන පරිදි ඉදි කෙරෙනු ඇත.

    ඒ අනුව ඉදි කිරීම් කටයුතු ඇරඹුනු පසු දැනට ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ පිහිටි ස්ථානයේ සිට ආරම්භ කරන බස් රථ දැනට බස්ගාල් කොට තබන බෝගම්බර බස්රථ ගාල වෙත තාවකාලිකව ගෙන ඒමට නියමිතය. බෝගම්බර බස්ගාලේ දැනට ගාල් කරන බස් රථ මහනුවර විලියම් ගොපල්ලව මාවත, හන්තාන, එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මාවත, ධම්මානන්ද මාවත වැනි ප්‍රදේශ වල තෝරාගත් ස්ථානවල ගාල් කර තැබීමට කටයුතු යොදා තිබේ. මෙම ස්ථාන වැඩි වශයෙන්ම වෙන් වන්නේ දුර ගමන් සේවා බස් රථ සදහාය.


    කෙටි ගමන් සේවා බස් රථ මහනුවර නගරය තුළ ගාල් කිරීමට ඉඩ නොදෙන අතර, ගමන් ආරම්භ කරන ප්‍රදේශවලම ගාල් කර තබා නියමිත වේලා ක්‍රමයකට ධාවනය කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මහනුවරට පැමිණෙන කෙටි ගමන් සේවා බස් රථ මහනුවර නගරය තුළ ගාල් කොට තැබීමට ඉඩ නොදේ. 20 දින පැවැත්වෙන පෙරහුරු වැඩසටනේදී බස්රථ රියදුරන් මේ පිළිබද පූර්ව දැනුවත් කිරීමක් සිදු කිරීමට නියමිතය.

    රුපියල් මිලියන 5800 වැය කොට ඉදි කරනු ලබන මෙම සිව් මහල් බහුමාදිලි මගී ප්‍රවාහන පර්යන්තය වසර තුනක කාලයකින් අවසන් කිරීමට නියමිතය. ලංකාවේ ඉදි වන ප්‍රථම අංග සම්පූර්ණ මගී ප්‍රවාහන පර්යන්තය ලෙස ද මෙය හැදින්විය හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya