මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නර්ඩ් වෙතින් නවීන තාක්ෂණය භාවිතයෙන්, අඩු වියදමින්, නවීන පන්නයේ නිවාස

    මාර්තු 28, 2014

     


    නිවසක් ඉදිකිරීම ආරම්භ කිරීමට පෙර ඒ සඳහා දැරීමට සිදුවන පිරිවැය පිළිබඳව විශේෂ අවධානයක්
    යොමුකළ යුතුය. සාම්ප්‍රදායික ගොඩනැගිලි ඉදිකිරීමේ ක්‍රමයට අනුව නිවසක් ඉදිකිරීමේදී ඒ සඳහා
    අවශ්‍ය කරන ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය ලබාගැනීමත්, පුහුණු ශ්‍රමය ලබාගැනීමත්, දුෂ්කර මෙන්ම අධික
    වියදම් සහිත කාර්යයක් වී ඇත.

     

     

    එමෙන්ම සාම්ප්‍රදායික ගොඩනැගිලි ඉදිකිරීමේ ක්‍රමය භාවිතයේදී අපතේ යන මෙන්ම අනවශ්‍ය ලෙස භාවිත කරනු ලබන අමුද්‍රව්‍ය ප්‍රමාණයද ඉතා විශාල වේ. මෙම සියලු ගැටලුවලට සාර්ථක විසඳුමක් ලෙස නව ඉදිකිරීම් තාක්ෂණයක්, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD)මඟින්, වියදම් පිරිමැසුම් ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණය නමින් රටට හඳුන්වාදී ඇත.

     

     

    එහිදී සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව, නවීන තාක්ෂණික ක්‍රම උපයෝගීත්වයෙන්, නිර්දේශිත ප්‍රමිතියකින් යුත් අමුද්‍රව්‍ය භාවිතය සමඟ ශ්‍රම සම්පත් කාර්යක්ෂ්ම ලෙස යොදාගැනීම සිදුකර ඇත. ඒ අනුව කෙටි කාලයක් තුළදී අවම සම්පත් භාවිතයෙන් කල් පවතින ශක්තිමත් නිවසක් සැමගේ අවශ්‍යතාවට අනුව අඩු වියදමකින් ඉදිකර ගැනීමට මෙම නව තාක්ෂණය මහත් පිටිවහලක් වනු ඇත.

     

     

    සෑම අයෙක්ම තම ජීවිතයේ ඉටුකර ගැනීමට අපේක්ෂා කරන ප්‍රධානතම කරුණක් වන්නේ තමන්ටම කියා නිවසක් ඉදිකර ගැනීමයි. එහෙත් වර්තමාන තත්ත්වයන් අනුව ඒ වෙනුවෙන් විශාල මුදලක් වැයකළ යුතු වීම නිසා ඔවුනට අවශ්‍ය පරිදි මෙම කාර්යය ඉටුකර ගැනීම ඉතා අසීරු අභියෝගයක් බවට පත්වී තිබේ.

     

     

     

    වර්තමානයේ ජනගහනයේ ශීඝ්‍ර වැඩිවීමත් සමඟ නිවසක් හෝ ගොඩනැගිල්ලක් හෝ ඉදිකිරීමේදී අවශ්‍ය කරන අමුද්‍රව්‍යන් සඳහා පවතින අධික ඉල්ලූමත්, පුහුණු ශ්‍රම හිඟය වැනි කරුණු නිසාත්, ඒවාට වැය කළ යුතු මිල ගණන් දිනෙන් දින ඉහළ යමින් පවතී. ලෝකයේ දියුණු රටවල් මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දී ඇති අතර, එහිදී ඔවුන් ඉදිකිරීම් සඳහා නවීන තාක්ෂණික ක්‍රම යොදාගෙන ඇත. නමුත් අපේ රටේ බොහෝ පිරිසක් තවමත් යොදාගනු ලබන්නේ වියදම් අධික, සම්පත් අපතේ යන ක්‍රමයක් වන සාම්ප්‍රදායික ඉදිකිරීම් තාක්ෂණයයි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ නවීන තාක්ෂණික ක්‍රම යොදාගැනීම හා එමඟින් ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳව ජනතාවට නිසි අවබෝධයක් නොමැතිවීමයි.

     

     


    මෙම නව ඉදිකිරීම් තාක්ෂණය භාවිතයෙන් නිවසක් හෝ වෙනත් ගොඩනැගිල්ලක් හෝ ඉදිකර
    ගැනීමට බලාපොරොත්තු වන්නන් අනිවාර්යෙන්ම මෙම ඉදිකිරීම් තාක්ෂණය නිවැරදිව
    යොදාගැනීමට පියවර ගත යුතුය. ඒ සඳහා මෙම නව තාක්ෂණය පිළිබඳව හොඳින් පුහුණුවක් හා
    පළපුරුද්දක් ලබා ඇති තාක්ෂණ ශිල්පියකුගේ සහය ලබාගැනීම ඉතා වැදගත් වේ.

     

     

    එම සහය පහසුවෙන් ලබාදීමට නර්ඩ් මධ්‍යස්ථානය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. නර්ඩ්
    මධ්‍යස්ථානය සුදුසු පුද්ගලයන් වෙත මෙම තාක්ෂණ පුහුණුව ලබාදී, පසුව යම් කාලයක් තුළ ඔවුන් විසින් කරන ලද ඉදිකිරීම් කාර්යයන් නිසි අධීක්ෂණයට ලක්කිරීමෙන් පසු සුදුසු අය තෝරා ඔවුන් නර්ඩ් මධ්‍යස්ථානයේ ස්ථීර බලපත්‍රලාභී ඉදිකරන්නන් වශයෙන් පත්කර ඇත. නර්ඩ් ඉදිකිරීම් තාක්ෂණය භාවිතය සඳහා මධ්‍යස්ථානය මඟින් ස්ථීර බලපත්‍ර ලබාදී ඇති කර්මාන්තකරුවන් අදාළ ඉදිකිරීම් කටයුතු නිර්දේශිත තාක්ෂණ ප්‍රමිතීන්ට අනුව සිදු කරනු ලබයි. මෙම ස්ථීර බලපත්‍රලාභීන්ගේ තොරතුරු නර්ඩ් මධ්‍යස්ථානය විමසීමෙන් හෝ www.nerdc.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකිවේ. ජා- ඇළ, ඒකල පිහිටි නර්ඩ් මධ්‍යස්ථානයේ තාක්ෂණ උද්‍යානයේ, මෙම තාක්ෂණය භාවිතයෙන් ඉදිකර ඇති නිවාස හා ගොඩනැගිලි දැකබලා ගැනීමට මෙන්ම ඒ පිළිබඳව මූලික අවබෝධයක් ලබාගැනීමටද පහසුකම් සලසා ඇති බව නර්ඩ් මධ්‍යස්ථානය සඳහන් කරයි.

     

     


    ගොඩනැගිලි ඉදිකිරීම් කර්මාන්තයේ දැනටමත් නියැළී සිටින හෝ නියැළීමට අපේක්ෂාවෙන් සිටින අය හට මෙම තාක්ෂණ පුහුණුව ලබාගැනීම ඉතා වැදගත් වනු ඇත. ඒ සඳහා දින 04ක පුහුණු වැඩසටහනක් නර්ඩ් මධ්‍යස්ථානය ආරම්භකොට ඇති අතර, සිවිල් ඉංජිනේරු කාර්යයන් පිළිබඳව සාමාන්‍ය දැනීමක්, පළපුරුද්දක් ඇති ඕනෑම අයකුට ඒ සඳහා සහභාගිවීමට නර්ඩ් මධ්‍යස්ථානය කටයුතු සකස්කොට තිබේ. මෙම පුහුණුව සාර්ථකව අවසන් කරන අය හට මධ්‍යස්ථානයේ බලපත්‍රලාභීන් වශයෙන් ලියාපදිංචි වී, වියදම් පිරිමැසුම් ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණය භාවිතයෙන් ඉදිකිරීම් කාර්යන්හි නියැළීම සඳහා අවස්ථාව උදාකර තිබේ. තාක්ෂණික පුහුණුව සඳහා සහභාගීවීමට උනන්දුවක් දක්වන අය 0112236384/0112236284 දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya