ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩකරන ජනතාව නිසා රට අඳුරෙන් ආලෝකයට ඇතුළු වුණා - ජනපති

    මැයි 02, 2014
    බලහත්කාරයෙන් පාරට බැස ආණ්ඩු පෙරළන්නට නොහැකි බව අද ආ ලක්ෂ සංඛ්‍යාත ජනතාව පැහැදිලි කර ඇති බවත් මේ රටේ වැඩ කරන ජනතාව ආණ්ඩුව සමඟ සිටින තුරු රටට ද්‍රෝහී දෙස් විදෙස් බලවේගවලට ආණ්ඩු පෙරළන්නට ඉඩක් නොමැති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කරයි.
     
    බොරැල්ල කැම්බල් කී‍්‍රඩාංගණයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලෝක කම්කරු දින සැමරුම් උළෙලට එක්වෙමින් ජනාධිපතිතුමා ඊයේ (01) මේ බව අවධාරණය කළේය.
     
    අඳුරෙන් අඳුරට ගිය රට වැඩ කරන ජනතාවගේ ඉවසීම නිසා ආලෝකයෙන් ආලෝකයට ඇතුළු වූ බවත් මේ රට යළි අඳුරට ඇද දමන්නට සමත් ජගතකු මේ රටෙත් ලෝකයේත් නොමැති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.
     
    රටේ ඉදිරිගමන ආපස්සට හරවන්නට කිසිවෙකුටත් නොහැකි බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා කොයි පැත්තෙන් ආවත් ඕනෑම අභියෝගයකට නොබියව මුහුණදීමට සූදානම් බව ද ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපතිතුමා විසින් කම්කරු දින පවත්වන ලද සම්පූර්ණ කතාව:
     
    ලෝක කම්කරු දිනය සමරන්න මේ රටේ සිව් දිසාවෙන් කොළඹට ඇදිලා ආපු අපේ රටේ වැඩකරන ජනතාවට මගේ සුබපැතුම් පිරිනමන්න  ඕනෑ. ඒ වාගේම කම්කරු අයිතීන් ආරක්ෂා කරන්න අතීතයේ සිට කැපවුණ සියලුම කම්කරු නායකයින්වත් මේ මොහොතේදී අපි සිහිපත් කරන්න  ඕනෑ. ඒක අපේ යුතුකමක් හා වගකීමක්.
     
    ඒ වගේම තමයි ඔබ දන්නවා මේ මොහොත වන විට මුළු ලෝකයේම වැඩකරන ජනතාව අධිරාජ්‍යවාදී බලපෑම්වලට එරෙහිව තමන්ගේ රටවල ස්වාධීනත්වය වෙනුවෙන් අද පෙළ ගැහෙනවා. ඒ සියලුම ලෝක කම්කරු ජනතාවටම අපේ ගෞරවය, ඒ වගේම සහයෝගයත් මේ රටේ කම්කරු ජනතාව වෙනුවෙන් පළ කරන්න ඕනෑ කියලයි මම විශ්වාස කරන්නේ.
     
    මම හිතන්නේ අපි මේ මහින්ද චින්තනය කි‍්‍රයාවට නැගුවාට පස්සේ දැන් වසර හතක් කම්කරු දිනයට තමුන්නාන්සේලා කොළඹ ආවා. එහෙම එනකොට තමුන්නාන්සේලාට පේනවා ඇති එදත් අදත් වෙනස. මම තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා ඊළඟ මැයි දිනය වෙනකොට මේ රට ඊටත් වඩා වෙනස් වෙලා තියෙනවා කියන එක. නෙළුම් පොකුණේ ඉඳන් මෙතෙනට පෙළපාළියේ එනකොට මම තුන් හතර තැනක අතර මඟ බැස්සා. ඒ අතිවිශාල ජනතාව මම දැක්කා.
     
    ඇසට වාගේම හදවතටත් මේ රටේ සිදු වෙලා තියෙන වෙනස ඔබට දැනෙනවා ඇති. තමුන්නාන්සේලා අද එදාට වඩා අඩු කාලයකින් කොළඹට ආවා, හම්බන්තොට, අම්පාරේ, යාපනයේ ඉදලා එන අයටත් අද එදාට වඩා කලින් එන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ හොඳම ආරක්ෂිත හා පිරිසිදු නගරයක තමයි අද තමුන්නාන්සේලා මේ පෙළපාළිය ඇවිල්ලා තියෙන්නේ කියලා අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන්.
     
    ඒ වගේම එකම රටක එකම ධජයක් යටතේ මැයි දිනය පවත්වන්න ලංකාවේ වැඩකරන ජනතාවට අද පුළුවන් වෙලා තියෙනවා. මේවා මේ රටේ රණවිරුවන්ගේ, මේ රටේ වැඩ කරන ජනතාවගේ කැපවීමේ ප‍්‍රතිඵල. ඒ වගේම වැඩකරන ජනතාවගේ ඉවසීමේ ප‍්‍රතිඵල තමයි අපි මේ භුක්ති විඳින්නේ.
     
    අඳුරින් අඳුරට ගිය රටක වැඩකරන ජනතාවගේ කැපවීම සහ ඉවසීම නිසා තමයි ආලෝකයෙන් ආලෝකයට ඇතුල්වෙන්න අපට පුළුවන් වෙලා තියෙන්නේ කියන එක මම තමුන්නාන්සේලාට මතක් කරන්න  ඕන. මේ මහා ජන ගඟ ආපසු හරවන්න, ආපහු අපිව අඳුරට ඇද දාන්න කිසිවෙකුටත් බැහැ කියලා අපි පැහැදිලිව කියන්න  ඕන. අපිට නොයෙක් බලපෑම් එනවා. අනවශ්‍ය බලපෑම් එනවා. මේ රටේ ජනතාව මේ ඇවිල්ලා කියන්නේ මේවට යට වෙන්න එපා කියලා. අපි බොහොම පැහැදිලිව කියනවා. අපි කාටවත් යටත් වෙන්නෙත් නැහැ. යටත් කරන්නත් බෑ. ඒ වගේම මේ ගොඩනඟන රට ආපස්සට හරවන්න කාටවත් බැහැ කියලා අපි කියනවා.
     
    අද බලන්න මේ පක්ෂ ගණනාවක් මේ වේදිකාවේ ඉන්නවා. ජාතින් ගණනාවක් මේ වේදිකාවේ ඉන්නවා. අපි සියලුදෙනා අත්වැල් බැඳගෙන තමයි මේ රට ඉදිරියට ගෙන යන්නේ. මේ සියලු පක්ෂ තමන්ගේ ප‍්‍රතිපත්ති ආරක්ෂා කර ගෙන රට ගොඩනඟන්න සහය දෙනවා.
     
    මේ ආණ්ඩුවේ හොඳම විවේචකයො ඉන්නෙත් ආණ්ඩුව ඇතුළේමයි. අපිට  ඕන හැම දේකටම ආවඩන අය නෙවෙයි. තුනෙන් දෙකක බලයක් තියන මේ ආණ්ඩුව හරි මඟ ගෙනියන්න, අවස්ථාව ආවහම පැහැදිලි කරලා දෙන්න මේ මැති ඇමතිවරු කිසි විටෙක පසු බට වෙන්නේ නැහැ. 
     
    ඒ ගැන අපි ආඩම්බර වෙනවා. ඒක තමයි කම්කරු ජනතාව අද කියන්නේ. හැම ප‍්‍රශ්නයක්ම හැම වෘත්තිය සමිතියක්ම ගෙනල්ලා සාකච්ඡා කරන්න අපිට ශක්තියක් තියෙනවා කියන එක අපි තමුන්නාන්සේලාට කියන්න  ඕන.
     
    අපි අපේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකිණීම නතර කළ රජයක්. අපි මේ රටේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරපු රජයක්. මාතෘභූමිය බෙදුම්වාදී ත‍්‍රස්තවාදයෙන් ගලවා ගත්ත රජයක්. අපි මේ රටේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් රැකලා දීලා ඔවුන්ගේ ජීවන තත්ත්වය ගොඩනඟන්න ඉදිරිපත්වුණ රජයක්. මේවා එකින් එක කියන්න ගියොත් වරු ගණනක් කියන්න වෙයි. 
     
    අපි මේ හැම දෙයක්ම කරන්නේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින්. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමිනුයි මේ ජයග‍්‍රහණ රටට උදා කළේ. අපි මර්ධනය කරන්න ගියේ නැහැ. පෙළපාළි යන්න, විරෝධතා පවත්වන්න, විවේචන කරන්න වගේම මඩ ගහන්නත් ඉඩ දීලා තියෙනවා. අපි විරුද්ධ මත දැරු අයව කුරුඳු පොලුවලින් තලන්න ගියේ නැහැ. තලන්නෙත් නැහැ. තලන්න ඉඩ දෙන්නෙන් නැහැ කියලා පැහැදිලිව කියනවා.
     
    මව්බිම සුරකිමු - නිදහස රැකගනිමු අපේ තේමාව. මත බේදයෙන් තොරව අද පැහැදිලිවම මේ ජනතාව ඇවිල්ලා ඉන්නේ මේකට. සමහරු කියනවා අපි පාරට බැහැලා ආණ්ඩු ගන්නවා කියලා. ඒකට මේ රටේ ජනතාව ඉඩ තියන්නේ නැහැ කියලා අද ආපු ලක්ෂ සංඛ්‍යාත ජනතාව පැහැදිලිව පණිවුඩයක් ගෙනල්ලා තියෙනවා.
     
    සහෝදරවරුනි, මේ රටේ වැඩකරන ජනතාව ආණ්ඩුවත් එක්ක ඉන්නකන් රටට ද්‍රෝහි බලවේගවලට හෝ විදේශ බලපෑම්වලට මේ ආණ්ඩුව පෙරළන්න පුළුවන්කමක් නැහැ. අපි දන්නවා අද විපක්ෂය ලංකා ඉතිහාසයේ කවදාවත් නැති විදිහට වැඩ කරන ජනතාවගේ සටන් අධිරාජ්‍යවාදයට පාවා දීලා ඉවරයි. ඒක තමයි ඇත්ත.
     
    උතුරේ ජනතාව විතරක් නෙවෙයි දකුණේ වැඩකරන ජනතාවක් අධිරාජ්‍යවාදී වුවමනාවට අද යොදා ගන්න මහන්සි ගන්න බව තමුන්නාන්සේලා වටහා ගන්න  ඕනෑ. අද සමහරු කටුනායක වේවා, රතුපස්වල වේවා තවත් ස්ථානයක වේවා කර්මාන්ත ශාලා වහන්න උත්සහ ගන්නේ මේ රටේ කම්කරු ජනතාවට ආදරේටද, ජනතාවගේ යහපත සඳහාද, නැහැ. ඔවුන් ඒවා පටන් ගත්තේ ජිනීවාවලට. එහේ රැස්වීම් තියනකොට මේවා පටන් ගන්නවා. ජනතාවත් සමහර අවස්ථාවල නොමඟ යනවා. ඔවුන් පෙන්නුම් කරන්නේ මහා භයානක ස්වරූපයක්.
     
    ඔවුන්ට ඕනේ කොහේ හරි ගිහිල්ලා මොනවා හරි ප‍්‍රශ්නයක් ඇති කරලා ජීවිතයක් බිලි ගන්න. බිලිගත්තට පස්සේ ඒක ජාත්‍යන්තරයට ගෙනියන්න. මේ රටේ ජනතාව ඔවුන්ට‍ ඕන විදිහට නටන්නෙත් නැහැ. ඔවුන්ගේ වුවමනාවලට යට වෙන්නෙත් නැහැ කියලා අපිට විශ්වාසයි.
     
    විදේශ රටවල් මැදිහත් වෙලා මේ රටට දිනා දුන් කම්කරු අයිතිවාසිකම මොකක්ද කියලා මම අහන්න  ඕනෑ. කිසි දෙයක් නැහැ. කිසිසේත් අදාළ නොවන මානව අයිතීන් පිළිබඳ කාරණාවක් ඉදිරිපත් කරලා එදා ජී.එස්.පී ප්ලස් සහනය රටට නැති කළා. ඒවා මේ රටේ වැඩකරන ජනතාව වෙනුවෙන්ද, අපි බැංකුවලින් ණය ගන්නවා කියලා ඒ බැංකු ඉදිරියේ පෙළපාළි ගියේ ඇයි, ඒක තමයි ඔවුන්ගේ වැඩපිළිවෙළ.
     
    නමුත් මේ කම්කරු නායකයින් පැහැදිලිව කිව්වා. අපි හැම අය වැයකින්ම මේ රටේ වැඩකරන ජනතාවට සහනයක් ලබා දීලා තියෙනවා. 2007 ඉඳලා හැම අවුරුද්කම වැටුපට යමක් එකතු කරලා තියෙනවා. ඒ වගේම ලක්ෂ 06ක් වෙලා තිබුණ රාජ්‍ය සේවය ලක්ෂ 03ට අඩු කරන්න ඕන කියලා කියපු ආණ්ඩුව වෙනුවට අපි ලක්ෂ 14කට අද රස්සාවල් දුන්නා. ඒක තමයි ඇත්ත
     
    අපි මෙතනින් නැවතුනේ නැහැ. වැඩ කරන පන්තියට තමන්ගේ බිරිඳගේ හරි දරුවෙකුගේ හරි අසනීපයකදි නිවාඩු ලබාදීමට අපි පියවර අරන් තියෙනවා. ඒ වාගේම ඉගෙන ගන්න හෝ රැකියාවකට විදේශගත වෙනවා නම් නිවාඩු ලබා දුන්නා. ඒ විදිහට තමයි අපි වැඩකරන ජනතාවගේ වුවමනාවන් බැලුවේ. දරු ප‍්‍රසූතියේදී ස්වාමිපුරුෂයාටත් නිවාඩු ලබා දුන්නා. මම හිතන්නේ නැහැ ලෝකයේ කොහෙවත් රටක රාජ්‍ය සේවයට මෙහෙම පහසුකම් ලබාදීලා තියෙනවා කියලා.
     
    එදා අපි ආණ්ඩුව භාර ගන්න කොට රාජ්‍ය සේවයේ පහළම කම්කරුවාගේ මුලික වැටුප වුණේ රු 7900 යි. අපි ඔවුන්ගේ මූලික වැටුප රුපියල් 11,730 දක්වා වැඩිකරලා තියෙනවා. ජීවන වියදම් ආදියත් ඒකට එකතු වුණාම රුපියල් 21,000 ක මාසික වැටුපක් රජයේ කම්කරුවෙක් ලබා ගන්නවා. ඒ වාගේම මේ රටේ වැඩ කරන ජනතාවගේ දරුවන්ගේ අවශ්‍යතා, නිවාස අවශ්‍යතා වාගේම ඔවුන්ගේ සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන් නොයෙක් විදිහේ ණය යෝජනා ක‍්‍රම ඇති කරලා තිබෙනවා.
     
    කපාහැරපු අග‍්‍රහාර රක්ෂණ ක‍්‍රමය නැවත ඇති කරලා රාජ්‍ය සේවකයා පැය 24 පුරාම රක්ෂණය කරලා තියෙනවා.  ඕනෑම රාජ්‍ය සේවකයෙක් හදිසි අනතුරකට ලක්වෙලා මියගියොත් වන්දියක් දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වාගේම ස්වභාවික මරණයකදීත් වන්දියක් ලබා දෙනවා. කිසියම් රාජ්‍ය සේවකයෙකුට බයිපාස් සැත්කමකට මුහුණ දෙන්න වුණොත් ඒ සඳහා රුපියල් ලක්ෂ 04ක් අපි ලබා දෙනවා. ඒවායේ වෛද්‍ය බිල් ප‍්‍රතිපූර්ණය කරන්නත් කටයුතු කරලා දීලා තියෙනවා. ඒ වාගේම සේවක සුබසධානය වෙනුවෙනුත් නව නීති රීති ඇති කරලා තිබෙනවා. මම හිතන්නේ ලෝකයේ කොහේවත් මෙවැනි දෙයක් සිදු වෙන්නේ නැහැ. මේවා අපි පැහැදිලිව තමුන්නාන්සේලාට කියන්න  ඕන. පඩි පාලක සභා අපි දාලා තියෙනවා. දැන් අපේ වෘත්තිය සමිති නායකතුමා පෙන්නලා දුන්නා අවම වැටුප පිළිබඳ තීන්දු කරන්න අපි කොමිසමක් පත් කරලා තියෙනවා. ඒ අනුව තීන්දුවක් ගනිවි. අපි මේවා පිළිබඳ සංවාදයේ යෙදෙමින් ඉදිරියට ගමන් කරනවා.
     
    දකුණේ අයට විතරක් නොවේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ජනතාවටත් මේවා ලබා දීලා තියෙනවා. පුද්ගලික අංශයේ රැකියා අවස්ථා ලැබිලා තියෙනවා. මේ ලැබුණ නිදහසෙන් ඔවුන් ප‍්‍රයෝජන ගන්නවා.
     
    අපි වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරකින්න පියවර අරගෙන තියෙනවා. ඔවුන්ගේ වැටුප් පිළිබඳ ඒ වගේම ලයිම් කාමර වෙනුවට ගෙවල් හදලාදෙන එක, වතු කම්කරු දරුවන් අධ්‍යාපනය ලබා දෙන්න අපි පහසුකම් ලබා දීලා තියෙනවා. ඉස්සර වගේ පෙට්රල් කෑන් අරගෙන වහලවල්වල නඟින්න ලයිට් කණුවලට නඟින්න සිදු වුණු යුගය වෙනස් වෙලා. මොකද මට මතකයි මම කම්කරු ඇමති කාලේ ? දොළහට මම ගියේ වහලෙන් බස්සන්න.
     
    අද අපේ රට මැදි ආදායම් ලබන රටක් බවට අපි පත් කරලා තියනවා. ජනතාවගේ තත්ත්වය අපි ඉහළට ගෙන්නල්ල තියනවා. ධානපති නිර්ධන පංති අතර තිබුණ මහා පරතරය අපි අඩු කරලා තියනවා. සන්නිවේදන, අධ්‍යාපන, සෞඛ්‍ය අයිතීන් නිදහසේ භුකිති විඳින්න අපි ඉඩ තියලා තියනවා.
     
    පාද යාත‍්‍රා ගැන අපේ අලෙවි මවුලානා මැතිතුමා කතා කළා. වැඩිම රස්නේ තියෙන යුගයක වැඩිම දුරක් අපි පාද යාත‍්‍රා කොළඹ ඉඳලා කතරගමට ගියේ. මොකද ලක්ෂ ගණනක් දරුවෝ ටයර් සෑයවල්වල මැරුවා. අද සමහර දේශපාලන පක්ෂවල අයට මේවා අමතක වෙලා. කවුද මැරුවේ, මොනවද කළේ කියලා. ඒදා අපි ඒවට විරුද්ධවයි පාරට බැස්සේ. එදා අපි කොළඹ ඉදලා කතරගමට ගියේ මානව අයිතිවාසිකම් රැක ගන්න, ජීවිත රැක ගන්න, මේ රටේ තරුණයන් වෙනුවෙන්.
     
    අද විපක්ෂය කාටත් නොකිය යනවා. ඔවුන් යන්නේ මොකටද හම්බන්තොට වරාය බලන්න. ගුවන්තොටුපළ බලන්න යනවා. මේ තියෙන සංවර්ධනය බලන්න යනවා. මොකටද යන්නේ මේ වරාය ස්විමින් ෆුල් එකක් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ පක්ෂයේ ලේකම්වරයා කියලා තියනවා හම්බන්තොට වාරාය ස්විමින් ෆූල් එකක් කරනවා කියලා. ගුවන් තොටුපළ කෞතුගාරයක් කරනවා කිව්වා.
     
    මෙන්න බලන්න යුග දෙකේ වෙනස, ඒගොල්ලෝ හම්බන්තොට යන්නේ හදපු සංවර්ධන ව්‍යාපෘති වහලා දාන්න පුළුවන්ද කියලා බලන්න. අපි කතරගම ගියේ ඒ අයගෙන් අපේ රටේ තරුණ තරුණියන් බේර ගන්න.
     
    අද සමෘද්ධිය ගන්න ප‍්‍රමාණය මේ රටේ අඩු වෙලා. දැන් විපක්ෂයේ අය සුපර් මාකට්වලටත් යනවා. ගිහින් බඩු මිල ගණන් බලනවා. මොකද මේකේ වෙනසක් තියෙනවද බලනවා.
     
    මට මතකයි එදා මාතර, කොළඹ බස් නැවතුම්පොළවල්වල උපාධිධාරින් ගුටි කෑවා. රැකියා දියව් කිය කියා පෝලිමේ ගිය රැකියා විරහිත උපාධිධාරින් ගුටි කෑවේ. අද පෝලිමේ යන්න ඕනේ නැහැ, ගෙදර ඉන්නකොට ගෙදරට ලියුම එනවා ඇවිල්ලා රැකියාව භාර ගන්න කියලා. මේකයි මේ යුග දෙකේ වෙනස. ඒ නිසා මේවා පිළිබඳ හිතන්න තමුන්නාන්සේලාට කාලය ඇවිල්ලා තියනවා.
     
    මේ නගරයේ ඉන්න ටික දෙනෙකුට  ඕන විදිහට නෙවේ අපි කටයුතු කරන්නේ. අද මේ රටේ ගමෙන් එන තරුණයාට තමන්ගේ උත්සාහයෙන් ව්‍යාපාරයක් ආරම්භ කරලා තමන්ගේ දෙපයින් නැඟී සිටින්න අවස්ථාව ලැබිලා තියෙනවා. අද යතුරු පැදි කීයක් විකිණෙනවද, ඩිමෝ බට්ටෝ කීයක් විකිණෙනවද, මේවත් හොයලා බලන්න කියන්න.
     
    අද එක්සත් ජාතින්ගේ හැම සංවිධානයක්ම එකක් හැර ලංකාවේ තත්ත්වය ගැන ඉතා ඉහළින් කතා කරනවා. කම්කරුවන්ගේ තත්ත්වය ඉතා උසස් කියලා ඉහළ මට්ටමකින් ඔවුන් අපි ගැන කතා කරනවා. අපිට විරුද්ධව යෝජනා ගේන උදවිය මේ කම්කරු අයිතිවාසිකම්වලට ගරු කරලා තියෙනවද කියලා අහන්න ඕන. ඒවා සැලකිල්ලටවත් අරගෙන නැහැ. මේ රට බෙදා වෙන් කරන්න පුළුවන්කමක් නැහැ කාටවත්.
     
    මම මතක් කරලා දෙන්න ඕන, අද යාපනේ අයටත් අමතකයි යාපනේ පුස්තකාලය ගිනි තියපුවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරනවා. මැතිවරණ කාල සටහන අකුල ගත්ත අය අද අම්පාරේ ඉඳලා කියනවලු, සාමකාමී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයක් තියනවා නම් අපි අදත් ලෑස්ති කියලා. මට මතකයි එදා මහර ප‍්‍රතිඵල ගත්තේ ලයිට් නිවලා. මෙන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදය, දැන් මෙයාලා කතා කරනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන. අද ඔවුන් තරුණ අසහනය, විරැකියාව ගැන කිඹුල් කඳුළු හළනවා. එදා චක‍්‍රලේඛ ගහලා රජයේ කම්කරු රස්සාවක්වත් දීම වළක්වපු අය.
     
    අපේ රජය තමයි 56 පිහිටවපු ප‍්‍රගතිශීලි රජය තමයි මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරකින්න හැම දෙයක්ම කළේ. සේවක අර්ථ සාධක අරමුදල හැදුවනම්, වරාය, බස් ආදිය ජනසතු කළා නම්, රක්ෂණය හැදුවා නම් ඒවා තමයි කළේ. ඒ නිසා තමුන්නාන්සේලා මේවා පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න. රෑ වැටුණ වලේ දවල් වැටෙන්න එපා. බුද්ධිමත්ව හිතන්න ඔබ. මේ අය පිළිබඳ අවබෝධයක් ඔබට තියෙනවා.
     
    තමුන්නාන්සේලා අපිත් එක්ක අත්වැල් බැඳගන්න. අනාගතයේදී  ඕනෑම වෙලාවක මේ රට බේර ගන්න, මේ රට ඉදිරියට ගෙනයන්න තමුන්නාන්සේලා අපිත් එක්ක එකාමෙන් බැඳිලා ඉඳියි කියලා විශ්වාසය පළ කරන ගමන් මව් බිම සුරකින්න - නිදහස රැකගන්න අපිත් එක්ක අත්වැල් බැඳගන්න මම ඔබට ආරාධනා කරනවා.
     
    ලෝකයේ කොයි පැත්තෙන් ආවත් ඒ එන  ඕනෑම අභියෝගයකට අපි නොබියව මුහුණ දෙනවා කියන එක තමුන්නාන්සේලාට නැවත නැවතත් මතක් කරනවා. වැඩ කරන ජනතාවට ජයවේවා යි කියමින් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවායි කියලා ප‍්‍රාර්ථනා කරනවා. 
     
    DB/Priu
     
    he may day 1
     
     
     
     
    he may day 2
     
     
     
    he may day 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya