අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මගේ රට දැන් එක ධජයක් යට නොබෙදී කැපවී සිටිනවා - ජනපති බහරේන් රාජ්‍යයේ දී

    අප්‍රේල් 29, 2014

    ත‍්‍රස්තවාදයට එරෙහි දශක තුනක සටන නිමාවීමෙන් පසු ඉන්දීය සාගරයේ දිවයින් රාජ්‍යයක් ලෙස ශ‍්‍රී ලංකාව වර්ධනය කරා ශීඝ‍්‍ර හා ශක්තිමත් චාරිකාවකට අවතීර්ණ වී ඇති බවත් සියලු ජාතීන් පොදුවේ භුක්තිවිඳින තිරසාර ආර්ථික සමෘද්ධිය ළඟා කර ගැනීමට මගේ රට දැන් එක ධජයක් යට නොබෙදී කැපවී සිටින බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.


    ජනාධිපතිතුමා මේ බව පැවසුවේ ඊයේ (28) බහරේන් රජ මාලිගාවේදී බහරේන් හි හමාඩ් බින් ඉසා අල්-ඛලීෆා රජතුමා ප‍්‍රදානය කළ බහරේන් රාජධානියේ ඉහළම ගෞරව සම්මානය වන ඛලීෆා අභිධානය පිළිගනිමිනි.


    එහිදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කළ කතාව මෙසේය.


    බහරේන් රජතුමනි, අග‍්‍රාමාත්‍ය කුමරුනි, රජ පවුලේ හා රාජ සභාවේ සාමාජිකයනි,
    ගරු ඇමතිතුමනි, ෂුරා කවුන්සිලයේ හා නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ සාමාජිකතුමනි,
    ගෞරවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි,

    රජතුමාගේ දයාන්විත ආරාධනයෙන් ඔබේ සුන්දර රාජධානියට පැමිණීමට ලැබීම මට ඉමහත් සතුටකි. මට හා මගේ දූත පිරිසට පුද කළ කරුණාබර වදන්, නොමසුරු හා උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් මම ඔබතුමන්ට ස්තූතිය පුද කර සිටිමි. ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයකු බහරේන් රාජධානියේ කරන ප‍්‍රථම රාජ්‍ය චාරිකාව වන මෙය, අප දෙරට අතර වන සබඳතාවන්හි උණුසුම් සමීපතාව හා පරිණතභාවය සනිටුහන් කරයි.


    රජතුමනි, බහරේන් රාජධානියේ ඉහළම ගෞරව සම්මානය වන ෂේක් ඉසා අභිධානයෙන් පුදනු ලැබීම මට නිරහංකාර ගෞරවයකි. විශේෂයෙන් මේ සම්මානය මානව හිතවාදය වෙනුවෙන් හිටපු ෂේක් ඉසා බින් සල්මාන් අල්-ඛලීෆා එමීර්තුමා කළ ජීවිතකාලීන කැපවීම හා එතුමා බහරේනය හා ලෝකය කෙරෙහි ඇති කළ බලපෑම ස්මරණය කරයි.


    නව ස්වාධීන බහරේනයේ එමීර්වරයා වශයෙන් ෂේක් ඉසාතුමා නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගිවීමට 1976දී ශ‍්‍රී ලංකාවට පැමිණි අයුරු එදා තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වූ මගේ මතකයේ රැඳී ඇත. මේ ශ්‍රේෂ්ඨ නායකයාගේ දුරදක්නා ඥානය නූතන බහරේනයට ශක්තිමත් පදනමක් සපයා ඇති බව මගේ පිළිගැනීමයි. ගල්ෆ් කලාපයේ දූපත් රාජ්‍යයක් ලෙස බහරේනය ලබා ඇති ජයග‍්‍රහණ කැපීපෙනෙන හා සිත්ගන්නා සුළුය. ලොව පුරා ක‍්‍රීඩාලෝලීන් පිළිගෙන ඇති පරිදි බහරේන් අන්තර්ජාතික ෆෝමියුලාවන් ධාවන පථය ඔබ රාජධානියේ තත්ත්වය ඉහළට ඔසවා ඇත.


    රජතුමාගේ දූරදර්ශී නායකත්වය යටතේ බහරේනය ශීඝ‍්‍ර ආර්ථික වර්ධනයක් අත්කර ගෙන ඇති බව සහ ඔබේ ජනතාවගේ ජීවන තත්ත්වය කැපීපෙනෙන අයුරින් වර්ධනය වී ඇති බව මම දැන සිටිමි.

     

    රටේ ආර්ථික වර්ධනයට සක‍්‍රීය ලෙස දායකවීම සඳහා රටක ජනතාව බලගැන්විය යුතුය යන රජතුමාගේ දර්ශනය මම ද අදහන්නෙමි. ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා වන මාගේ ප‍්‍රතිපත්තිවල ද මේ මූලධර්මය අන්තර්ගතය.

     

    රජතුමනි, පසුගිය වසරේ මනාමා හි නව තානාපති කාර්යාලයක් විවෘත කිරීමේ තීරණය මේ කලාපයේ සමාන සිතුම් පැතුම් ඇති රටවල් සමග සමීපව ක්‍රියාකිරීමේ අපේ ප‍්‍රමුඛතා ප‍්‍රතිපත්තිය මත පදනම්ව ඇත. බහරේනය සමඟ වැඩිදියුණු කරන ලද හා කාර්යක්‍ෂම සහයෝගීතාවක් ගොඩනැංවීමට අපි අපේක්‍ෂා කරමු. අප දෙරට අතර ආර්ථික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා සැළකිය යුතු ශක්‍යතා ගවේෂණය කිරීමට මගේ රටේ ව්‍යාපාරික ප‍්‍රධානීහූ කිහිපදෙනෙක් ද මා සමඟ චාරිකාවට එක්ව සිටිති.


    කරුණාබර වදන්, නොමසුරු ආගන්තුක සත්කාරය සහ උණුසුම් අන්තර් ක‍්‍රියාකාරිත්වය මට හා මගේ දූත පිරිසට මේ රාජ්‍ය චාරිකාවේ නොමැකෙන හා ආදරණීය මතකයන් වනු ඇති අතර, එය නිසැකවම අප දෙරට අතර ක‍්‍රියාශීලී සහයෝගීතාවක් බවට පරිවර්තනය වනු ඇත. එබැවින් රජතුමාට යහපත් සෞඛ්‍යය, සතුට හා දීර්ඝායුෂ සහ බහරේන් ජනතාවට සාමය හා සමෘද්ධිය සහ ශක්තිමත් බහරේන්-ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වයකට මම සුබපතන්නේ ඉමහත් සතුටිනි. ස්තුතියි.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya