නොවැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ ආයතනවලදී ශ‍්‍රී ලංකාවට අඛණ්ඩ සහය - චීනය සහතික වෙයි

    අප්‍රේල් 26, 2014

    එක්සත් ජාතීන්ගේ ආයතනවල දී ශ‍්‍රී ලංකාවට චීනයේ අඛණ්ඩ සහය ලැබෙන බවට එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලියු ෂෙන්මිං (Liu Zhenmin) මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ දී ප‍්‍රතිඥා දුන්නේ ය.


    “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී සහ එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ දී අප ශ‍්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙනවා. ශ‍්‍රී ලංකාවට හැමවිටම චීනයේ මිත‍්‍රත්වය ගැන විශ්වාසය තියන්න පිළිවන්”, ලියු මහතා කීය.


    මේ වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී ශ‍්‍රී ලංකාවට දැක්වූ සහය පිළිබඳව ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා චීනයට ස්තුතිය පුද කළේය. පසුගිය මස ජිනීවා හි පැවති මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේ දී ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් චීනය ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටියේ ය.


    “තිස් වසරක් තිස්සේ අප පීඩා වින්දා. ඔබේ ද උදව් ඇතිව ත‍්‍රස්තවාදය පරාජය කිරීමට අප සමත් වුණා”, ජනාධිපතිතුමා පැවසීය.


    ශ‍්‍රී ලංකා-චීන ද්විපාර්ශවික සබඳතා වර්ධනයට ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා දක්වන පෞද්ගලික උනන්දුව ලියු මහතාගේ පැසසුමට ලක්විය.


    “ඔබ චීන නායකත්වය සමග සමීප මිත‍්‍රත්වයක් ගොඩනගාගෙන තිබෙනවා. මේ පෞද්ගලික සබඳතාව චීන-ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වය ඉදිරියට ගෙන යාමට මහත් රුකුලක්”, ලියු මහතා සඳහන් කළේය.


    ගත වූ දශක කිහිපයේ දී ශ‍්‍රී ලංකාවට දුන් සහය පිළිබඳව චීනයට කෘතඥතාව පළ කළ ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ යටිතල පහසුකම් ගණනාවක් නිම වූයේ චීනයේ සහය ඇතිව බව ජනාධිපතිතුමා සිහිපත් කළේය. ශ‍්‍රී ලංකාවේ කර්මාන්තවල ආයෝජනය කරන්නැයි චීන ව්‍යාපාරිකයිනට දන්වන ලෙස ජනාධිපතිතුමා නියෝජ්‍ය ඇමතිවරයා දිරි ගැන්වීය.


    ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා පසුගිය වසරේ මැයි මස චීනයේ කළ චාරිකාවේ දී ද්විපාර්ශවික සබඳතාවන්හි වැදගත් කඩඉමක් සලකුණු කරමින් දෙරට අතර සබඳතා “උපාය මාර්ගික සහයෝගීතා” මට්ටමට නංවනු ලැබීය. ශ‍්‍රී ලංකාව සමග සබඳතා අඛණ්ඩව ශක්තිමත් කරන බවත්, සමාන හවුල්කාරිත්ව පදනමකින් සහයෝගීතාව නව ක්ෂේත‍්‍රවලට ව්‍යාප්ත කරන බවත් චීන උප ජනාධිපති ලි යුඅංචාඕ (Li Yuanchao) මැතිතුමා ජනාධිපතිතුමා සමග සාකච්ඡාවල දී පැවසීය. ඊයේ රැස්වීමේ දී එකී ප‍්‍රතිඥාව තහවුරු කළ ලියු මහතා, චීනය ශ‍්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතිවලට ඉහළ ප‍්‍රමුඛත්වයක් දෙන බවත්, දකුණු පළාතේ අධිවේගී මාර්ග හා දුම්රිය මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයට අඛණ්ඩ අවධානය යොමු කරන බවත් ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාට කියා සිටියේ ය.


    “අපේ සහයෝගීතාව වඩා ඉහළ මට්ටමකට ගෙන යා යුතුයි. යටිතල පහසුකම්, ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත‍්‍රවල සහයෝගීතාව අඛණ්ඩව පුළුල් කළ හැකි බව මට විශ්වාසයි”, ලියු මහතා සඳහන් කළේය.


    වෙළෙඳ ශේෂය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ කනස්සල්ල තේරුම් ගන්නා බව කී චීන නියෝජ්‍ය විදේශ ඇමතිවරයා නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ සාකච්ඡා මගින් ගැටලුව විසඳීමට හැකි වනු ඇතැයි විශ්වාසය පළ කළේය.


    “චීනයට ශ‍්‍රී ලංකාව ඉන්දීය සාගර කලාපයේ වැදගත් හවුල්කරුවෙක්”, යයි සඳහන් කළ ලියු මහතා, 21 වැනි සියවසේ සේද මාවත සංවර්ධනයට ශ‍්‍රී ලංකාවෙන් ලැබෙන සහය අගය කරමින් දෙරට අතර මුහුදු සහ ගුවන් සබඳතා පුළුල් කළ යුතු බව පෙන්වා දුන්නේ ය.


    චීනය ශ‍්‍රී ලංකාවේ “සර්වකාලීන” මිතුරෙකු ලෙස හැඳින්වූ නියෝජ්‍ය ඇමතිවරයා ශ‍්‍රී ලංකාව තම රටේ “හොඳ මිතුරෙක්, හොඳ අසල්වැසියෙක් සහ හොඳ හවුල්කරුවෙක්”, බව කීය.

     

    Liu Zhenmin meets President 1


    අරලියගහ මන්දිරයේ දී 24 වැනිදා පැවැති මේ සාකච්ඡාවට ශ‍්‍රී ලංකාවේ චීන තානාපති වූ ජියැංහාඕ (Wu Jianghao) මහතා ද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ද කතාබහට එක්ව සිටියහ.


    HC/NP_IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya