අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගමේ සුළු ව්‍යාපාරිකයන් නඟා සිටුවීම රාජ්‍ය බැංකු සතු වගකීමක්

    අප්‍රේල් 25, 2014
    රටක් වේගයෙන් සංවර්ධනය කරා ගමන් කිරීමේ දී සුළු පරිමාණ ව්‍යවසායකයින් ද ඉතා වැදගත් කොටසක් බව සඳහන් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔවුන් දිරි ගැන්වීම පිළිබඳ රාජ්‍ය බැංකුවල අවධානය වඩාත් යොමු විය යුතු බව කියා සිටියේ ය.
     
    එබැවින් කොළඹ ව්‍යාපාරිකයින්ට පමණක් ණය දීමට සීමා නොවී ගමේ සුළු ව්‍යාපාරිකයින් ද නඟාසිටුවීමට කැපවීම රාජ්‍ය බැංකු සතු වගකීමක් බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. 
     
    මහජන බැංකුවේ සේවයට අලුතින් බඳවා ගත් ගනුදෙනුකාර සේවා සහයකයන් වෙත පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ (24) පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය. 
     
    බස්නාහිර සහ දකුණු පළාත නියෝජනය වන පරිදි නව ගනුදෙනුකාර සහායකයින් 400 දෙනෙකුට මෙහිදී පත්වීම් ප‍්‍රදානය කෙරිනි.
     
    සුළු ව්‍යාපාරිකයින් පිළිබඳ අපගේ පවතින ආකල්ප පවා වෙනස් විය යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඔවුන් නිසි ලෙස මෙහෙයවීමෙන් දියුණුව කරා රැගෙන යාමට බැංකු සමත් විය යුතු බව ද පැවසීය. 
     
    ජනතා අවශ්‍යතාවන් ඉටු කිරීමේ දී ජනතාව පිළිබඳ සිතා තීරණ ගැනීමට රාජ්‍ය බැංකුවලට වගකීමක් ඇතැයි ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. එසේම සමාජ සුබසාධනය සහ රටේ සංවර්ධනය පිළිබඳ රාජ්‍ය බැංකුවල විශේෂ අවධානයක් යොමු විය යුතු ය.
     
    ජනතාව අතර ඉතා හොඳ ගනුදෙනු ජාලයක් ගොඩ නඟා ගනිමින් ගනුදෙනුකරුවන් දෙස සුබවාදීව බලමින් කටයුතු කිරීමට රාජ්‍ය බැංකු කටයුතු කළයුතු බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
     
    ගනුදෙනුකාර සේවා සහායකයින් දහසක් මහජන බැංකුවට බඳවා ගෙන ඇති අතර ඉන් හයසියයකට ජනාධිපතිතුමා අතින් පසුගිය පෙබරවාරි මාසයේ දී පත්වීම් ප‍්‍රදානය කෙරිණි. 
     
    එම දිනවල පැවති බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය නිසා කල්තැබුණු එම පළාත් දෙකෙහි පත්වීම්ලාභීන්ට පත්වීම් ප‍්‍රදානය අද මෙලෙස ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.
     
    අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, අමාත්‍යවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, ඩග්ලස් දේවානන්ද, එස්. එම්. චන්ද්‍රසේන, නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන තිලංග සුමතිපාල, දුමින්ද සිල්වා, ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානී මහජන බැංකුවේ සභාපති ගාමිණි සේදර සෙනරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB/ PRIU
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya