අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩොලර් බිලියනයක විදේශීය ආයෝජන පළමුවරට රටට ගෙන ආවේ මේ රජයයි

    අප්‍රේල් 24, 2014

    2011 වසරේදී ශ්‍රී ලංකාවට ප්‍රථම වරට විදේශීය ඍජු ආයෝජන ව්‍යාපෘති ඇමරිකානු ‍ඩොලර් බිලියනයක් ඉක්මවමින් රට තුළ ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත් 2013 වසරේ දී එය ඇමරිකානු ඩොලර් මිලියන 1,391 දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයන් පිළිබඳ විවාදයට එක්වෙමිනි.

     

    1978 මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටුවීම මඟින් රජයේ අරමුණ වුයේ රටේ බලාත්මක කලාපය (AREA OF AUTHORITY) තුළ විදෙස් ආයෝජන ආකර්ශණය කර එමඟින් රැකියා උත්පාදනය හා විදේශ විනිමය උපයා ගැනීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි. මෙහි මූලික අරමුණක් ලෙස ආයෝජන කලාප බිහිකර ඒවායේ ව්‍යාපෘති පිහිටුවීම සිදු කරන ලද අතර, 1992 සිදු කළ පනත් සංශෝධනය මඟින් මහ කොළඹ ආර්ථික කොමිසම, ආයෝජන මණ්ඩල ලෙස වෙනස් කර මුළු රට පුරාම ආයෝජන මණ්ඩල අනුමත ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාව සැලසිණි. විදේශීය ඍජු ආයෝජන ව්‍යාපෘති ප්‍රවර්ධන කිරීම තුළින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලංකාවේ ආර්ථික වර්ධනය උදෙසා මහඟු දායකත්වයක් ලබා දී ඇත. 1978 මහ කොළඹ ආර්ථික කොමිසම ස්ථාපිත කිරීමෙන් පසු අද වන විට රටට ලැබුණු මුළු ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇ.ඩො.මිලියන 9,918 වන අතර ඉන් 72% ක් ම (එනම් ඇ.ඩො.මි. 7,140) 2006 සිට 2013 කාලවකවානුවේදී ලබාගෙන ඇතැයි ද ඔහු කීය.


    2009 වසරේ දී යුද්ධය නිමාවීමෙන් පසු 2010 සිට 2013 දක්වා කාලය තුළ ලබා ගෙන ඇති මුළු විදේශීය ඍජු ආයෝජන ප්‍රමාණය ඇ.ඩො.මිලියන 4,311 කි. මෙය යුද්ධයට පෙර ආසන්න වසර 4 ඇතුළත එනම් 2006 සිට 2009 දක්වා කාලය තුළ ලබා ගත් ඇ.ඩො.මිලියන 2,829 හා සසඳන විට 52% ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ඔහු අවධාරණය කළේය.

     

    2005 වර්ෂයට සාපේක්ෂව 2012 වර්ෂයේ ලද ඒක පුද්ගල විදෙස් ඍජු ආයෝජන ලැබීම් 350% ක වර්ධනයක් පෙන්නුම් කරයි. මේ අගය වියට්නාමය - 297%, ඉන්දියාව- 190%, ඉන්දුනීසියාව - 117%, කොරියාව - 51%, බංග්ලාදේශය - 8% සහ තායිලන්තය - 5% ‍ යන රටවලට සාපේක්ෂව ඉහළ අගයකි. ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායමෙන් 65% ක් පමණ ආයෝජන මණ්ඩල අනුමත ව්‍යාපෘති මඟින් සිදු කරන අපනයන වන අතර කාර්මික අපනයනයන් පමණක් සැලකූ විට එය 80% කි. ඇගළුම් අපනය වලින් 98% ක්ම ආයෝජන මණ්ඩල අනුමත ව්‍යාපෘති මඟින් අපනයනය‍ කෙරේ. 2013 වර්ෂය සඳහා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතිවලින් ඇ.ඩො.මිලියන 6,606ක අපනයනයක් සිදුකරන ලද අතර එය පසුගිය වසරට සාපේක්ෂව 8%ක වර්ධනයකි. මේ අපනයන‍යන්ගෙන් 62.7% ක් ඇඟලුම් හා රෙදිපිළි වන අතර ඉතුරු ප්‍රමාණය අනෙකුත් නිෂ්පාදන, සේවා සහ කෘෂිකාර්මික අපනයනයන් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    පසුගිය වසර වන විට රැකියා උත්පාදනය 475,00 ක් ඉක්මවයි. වාර්ෂිකව මෙම අගයට නව රැකියා අවස්ථා 10,000ක් පමණ එකතු වේ. ආයෝජන මණ්ඩලයේ ආ‍යෝජන ප්‍රවර්ධන උපායමාර්ගයන්හි ප්‍රතිඵලයක් ලෙස ඇ.ඩො.මිලියන 4,095ක වටිනාකමින් යුත් ව්‍යාපෘතින් 258ක් ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. එමඟින් රැකියා අවස්ථාවන් 40,600ක් පමණ උත්පාදනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ග්‍රාමීය සංවර්ධනයේදී මේ ව්‍යාපෘති 258 තුළ යටිතල පහසුකම් ව්‍යාපෘතින් 72ක් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ
    ව්‍යාපෘති 54ක් අන්තර්ගත වේ. බදු සහන ලබාදීම ආයෝජන ප්‍රවර්ධනය සඳහා යොමුකරන එක් උපායමාර්ගයක් වුවද ආයෝජන මණ්ඩලයේ ක්‍රියාත්මක වන මුළු ව්‍යාපෘති 1,723 අතරින් 1,056ක්ම අද වන විට බදු සහන කාලය නිමා කර රජයට බදු ගෙවන ව්‍යාපෘති බවට පත් ව ඇත. 2014 අවසානයේදී තවත් ව්‍යාපෘති 95ක්ද 2015 වන විට ව්‍යාපෘති 101ක් ද 2016දී ව්‍යාපෘති 71ක්ද මෙම බදු ගෙවන ආයෝජන මණ්ඩල ව්‍යාපෘතින් බවට පත් වන බව ඔහු අවධාරණය කළේය.

    සංචාරක කර්මාන්තය නගාසිටුවීම සඳහා ආයෝජන මණ්ඩලයේ පූර්ණ දායකත්වය සැමවිටම ලැබී ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ දැනටමත් හෝටල් ව්‍යාපෘති 123ක් සිය වාණිජ මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති අතර එමඟින් හෝටල් කාමර 7,000 අධික ප්‍රමාණයක් ඉදිකර ඇත. හෝටල් 49ක් ඉදිකිරීම් කටයුතු දැනටමත් ආරම්භ කර ඇත. මෙම හෝටල් 49හි ඇස්තමේන්තුගත මුළු ආයෝජන වටිනාකම ඇ.ඩො.මි. 1,057 පමණ වන අතර මේ තුළින් 9,000කට අධික පිරිසකට රැකියා අවස්ථා උත්පාදනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවත් 5,500කට අධික හෝටල් කාමර සංඛ්‍යාවක් මේ තුළින් සංචාරක කර්මාන්තයට එකතු වනු ඇත. උතුරු, නැගෙනහිර, බස්නාහිර, වයඹ, මධ්‍යම හා දකුණු යන පළාත්වල ඉදිවෙමින් පවතින මේ ව්‍යාපෘතීන් ව්‍යාප්ත වී ඇති අතර රට පුරා විහිදී ගිය සංචාරක කර්මාන්තයට මෙය මහත් රුකුලක් වනු ඇත. එමෙන්ම, ලෝක ප්‍රසිද්ධ ෂන්ග්‍රි ලා, හයට් රීජෙන්සි, අයි.ටී.සී. වැනි සමාගම් ලංකාව තුළ තම හෝටල් ස්ථාපිත කිරීම, පාලනය කිරීම සඳහා එකඟ වී ඇති අතර එය ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුව කෙරෙහි ඍජුවම බලපානු ඇතැයි ද ඔහු කීය.

    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතීන් වඩා ගුණාත්මක බවින් යුත් හා රටෙහි ස්වභාවයේ සැලකිය යුතු වෙනසක් සිදු කළ හැකි වූත් (changing the landscape of the country), සමාජීය හා ආර්ථිකමය වශයෙන් වාසි සහගතවුත් ආයෝජන දිරිගැන්වීම් උදෙසා 2008 වසරේ දී රජය විසින් ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත හඳුන්වා දෙන ලදී. මේ පනත යටතේ මෙකී ව්‍යාපෘති පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ජා කිරීමට ඉඩ සලසා දීම තුළින්‍ මේ සඳහා වඩාත් විනිවිද භාවයකින් යුත් ව්‍යාපෘති අනුමත කිරීමේ පටිපාටියක්
    ක්‍රියාත්මක කර ඇත. දැනටමත් මෙම පනත යටතේ කොළඹ වරාය බහලුම් පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය, සාම්පූර් අඟුරු බලාගාරය, යුක්ලන් විශ්වවිද්‍යාලය, ෂැන්ග්‍රිලා කොළඹ හා හම්බන්තොට හෝටල්, ශ්‍රී ලංකා වානේ සංස්ථාව නවීකරණය කිරීම , වෙල්කොම් හෝටලය, සිනේ ලංකා හෝටලය, කෙයාන් ලංකා සමාගම වැනි ඉතා අගනා ව්‍යාපෘති ගණනාවක් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබී ඇත. තවද, වෝ‍ටර් ෆ්රින්ට්, ලේක් ලෙෂර්, සහ ක්වින්ස්බරි යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට පියවර ගෙන ඇත. දැනටමත් අනුමත ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති තුළින් ඇ.ඩො. බිලියන 1ක ආයෝජනයක් ලැබී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.


    පාරිසරික තත්ත්වයන්ට යම්කිසි බලපෑමක් ඇති කළ හැකි යැයි සැකසහිත ව්‍යාපෘතීන් ආයෝජන කලාපවල පමණක් ස්ථාපිත කිරීමටත්, දැනට කලාපවලින් පිටත පවතින එවැනි පරිසරයට සංවේදී ව්‍යාපෘතීන් ක්‍රමානුකූලව කලාප තුළට ගෙන ඒමටත් සුදුසු වැඩපිළිවෙලක් සම්පාදනය කරමින් පවතී. කෙසේ වුවත් මෙහිදී වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ මෙවැනි චෝදනා එල්ල කරන ලද ව්‍යාපෘතින් සඳහා කලාපීය තරගකාරී රටවල්වලින් දැඩි ඉල්ලුමක් පවතින අතර, ඒවා එම රටවල්වල ස්ථාපිත කිරීම සඳහා එම ව්‍යාපෘතින් හට දැනටමත් ආරාධනා ලැබී ඇති බවයි. එබැවින් අප විසින් අනුගමන කළ යුතු උපායමාර්ග විය යුත්තේ වසර ගණනාවක් තුළ සාර්ථකව පවත්වාගෙන ආ මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘති වසා දැමීමට පියවර ගැනීම වෙනුවට එමඟින් යම් පාරිසරික හානියක් සිදුවී ඇතොත් ඒ පිළිබඳව මනා අධ්‍යයනයක් කොට සාක්ෂි මත පදනම් වූ ක්‍රියාමාර්ගයන් ගැනීම තුළින් පරිසර හානි අවම කොට මෙවැනි ව්‍යාපෘතින් රැකගැනීම සඳහා පක්ෂ භේදයකින් තොරව කටයුතු කිරීමයි. එසේ නොවුවහොත් ආයෝජකයන් ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු වීම, රැකියා අහිමි වීම වැනි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවීම බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya